ඊශ්වරන් බ්‍රදර්ස් ටී එක්ස්පෝටස් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයට අරුණි ගුණතිලක පත් කෙරේ

සමාගමට නායකත්වය දෙන විශිෂ්ඨ කණ්ඩායමට තවත් ශක්තියක් එක් කරමින් කලාපයේ ඉහළ පෙලේ මුල්‍ය සේවා විශේෂඥයෙකු වන අරුණි ගුණතිලක ඊශ්වරන් බ්‍රදර්ස් අධ්‍යක්ෂක මණ්ඩලයට පත් කොට තිබේ.

වසර හැටකට වැඩි කලක් පුරා අගය වැඩි කළ තේ කර්මාන්තයේ ප්‍රමුඛයින් අතර සිටින ඊශ්වරන් බ්‍රදර්ස් සමාගම තේ කර්මාන්තයේ නිර්මානාත්මක බවේ මූලිකත්වය දරයි.

ප්‍රවීණ ආයතනික උපාය මාර්ග විශේෂඥයෙකු සහ ඊශ්වරන් බ්‍රදර්ස් අධ්‍යක්ෂක මණ්ඩලයේ විධායක නොවන සභාපති වන ආචාර්ය නලින් ජයසුරියගේ නායකත්වය යටතේ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය බලවත් කණ්ඩායමක් බව ඔප්පු කරමින් සිටී.

ලංකා දුම්කොළ සමාගම පීඑල්සී හි විගණන කම්ටුවේ සභාපති සහ අම්බියොන් කැපිටල් පීඑල්සී හි සභාපති, යුධිස්ට්‍රන් කනගසබේ මහතා ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂක ලෙසද, යුරෝපයේ ඉදිරි පෙළ ආයතනික උපාය මාර්ග හා බ්රෙක්සිට් උපදේශන සේවා සපයන්නකු වන, ස්ට්‍රැටජම් පාට්නස් සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ගේබ්‍රියල් ඩාසි මහතා විධායක නොවන අධ්‍යක්ෂක ලෙසද, පාකිස්තානයේ හා කෙන්යාවේ හා ගෝලීයව තේ කර්මාන්තයේ දැවැන්තයෙකු වන හනිෆ් ජානු මහතා ද අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් වේ.

මෙම විද්වත් මඩුල්ලට කලාපීය මුල්‍ය විශේෂඥයෙකු වන අරුණි ගුණතිලක 2021 ජූනි මස එක් විය. පසුව හැටන් නැෂනල් බැංකුව පීඑල්සී හි සභාපති ධුරයට පත්වූ අරුණි ගුණතිලක සන්ෂයින් හෝල්ඩින්ස් පීඑල්සී හි ද අධ්‍යක්ෂකවරියෙකු වන අතර, තවත් ලැයිස්තුගත ආයතන ගණනාවක විධායක නොවන අධ්‍යක්ෂකවරියෙකු වේ.

ඇයගේ පත්වීම පිළිබඳව අදහස් දක්වමින් ඇය මෙසේ පැවසීය, “ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ අගය වැඩි කළ තේ අපනයන සමාගමක් වන ඊශ්වරන් බ්‍රදර්ස් අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයෙකුවීම පිළිබඳව මම සතුටු වනවා. මුළු ලොවම අභියෝග රැසක් තරණය කරමින් සිටින අවස්ථාවකදී ඊශ්වරන් බ්‍රදර්ස් සමාගම ඉතා අගනා විවිධාංගකරණ හා වර්ධන වැඩ සටහනක් දියත් කරනවා. සමාගම නව දිසාවන් කරා යන මොහොතක එහි නායකත්වයේ කොටසක්වීමට මා බලාපොරොත්තු වනවා.”

කොළඹ විශ්ව විද්‍යාලයේ මූලික නීති උපාධිය හදෑරූ ගුණතිලක මහත්මිය, ඇයගේ පශ්චාත් උපාධිය එක්සත් ඇමෙරිකා ජනපදයේ හාවඩ් නීති විද්‍යාලයෙන් ලබා ගත්තාය. ඉන් පෙර ඇය මහජන බැංකුවේ ආයතනික බැංකු ප්‍රධානී ලෙස ක්‍රියා කළාය. මූල්‍ය සේවා වෘත්තිකයෙකු ලෙස ඇයගේ 25-වසරක සේවාව තුළ ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ ප්‍රධාන අවදානම් නිලධාරි ලෙස ක්‍රියා කරමින් ශ්‍රී ලංකාවේ ANZ Grindlays හා Standard Chartered Bank බැංකු ඒකාබද්ධ කිරීමේ අවස්ථාවේ ප්‍රධාන මෙහෙවරක් ඉටු කළාය. සිංගප්පුරුවේ ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ ණය පිළිබඳ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා වාණිජ බැංකු සේවා ප්‍රධානී ලෙසත්‍, තොග හා සිල්ලර බැංකු සේවා සඳහා ගෝලීය විගණන තනතුරු වලත් ඇය සේවය කොට ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ තේ අපනයනකරුවකු ලෙස ඊශ්වරන් බ්‍රදර්ස් සමාගම ලොව ප්‍රධාන සන්නාම තේ ප්‍රමුඛයින් සමග ක්‍රියා කරමින් ඔවුන්ට අවශ්‍ය ඉහළ ප්‍රමිතියේ ශ්‍රී ලංකා තේ සපයා ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවයන් සපුරාලීමට සහාය දෙයි. මෙම බහුකාර්යතාව හා ගනුදෙනුකරු තෘප්තිමත් කිරීම යන සංයුතිය සහ 60 වසරකට වැඩි පළපුරුද්ද සමග ඊශ්වරන් බ්‍රදර්ස් තේ, උසස්ම තේ හා ඔසු පැන් සඳහා වෙළඳපොලේ ප්‍රධාන තෝරාගැනීම වී ඇත.

“දශකයක පමණ කලක් ඔස්සේ නිසි ආයතනික පාලන හා වර්ධනය වෙත නැඹුරු ස්වාධීන අධ්‍යක්ෂකවරුන් ඊශ්වරන් බ්‍රදර්ස් අධ්‍යක්ෂක මණ්ඩලයේ කොටසක් විය. අපගේ හිටපු සභාපති, නැසීගිය ඩී. ඊශ්වරන් මහතා දුන් උපදෙස් අනුව, ඊශ්වරන් බ්‍රදර්ස් සමාගම ලොව ප්‍රථම කාබන් මධ්‍යස්ත ලෙස සහතික ලත් තේ සමාගම විය. සමාගමක් ලෙස දැවැන්ත පියවර කිහිපයක් ගැනීමට අපි දැන් සූදානම්,” යයි විධායක සභාපති ගනේශ්‍ දේවනායගම් පැවසීය.”අධ්‍යක්ෂක මණ්ඩලයට අරුණිගේ සහායත් ඇතිව, සමාගමේ විවිධාංගකරණය හා පුළුල් කිරීම් වේගවත් කිරීම සඳහා අපගේ මූල්‍ය අධීක්ෂණය ශක්තිමත් කිරීමට අපි අදහස් කරනවා.”

Visits: 197