වැලිබල් පවර් එරත්න වෙතින් කොටසකට ශත 35ක් බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත වැලිබල් පවර් එරත්න පීඑල්සී (VPEL.N0000) සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. අද රැස්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව සමාගම මගින් මෙතෙක් නිකුත් කර ඇති සෑම සාමාන්‍ය ඡන්ද හිමි කොටස් සඳහාම රුපියල් ශත 35ක් බැගින් මෙම ලාභාංශ ගෙවීම සිදු කරන බව සමාගම සඳහන් කර සිටියි.

මෙය 2022 මාර්තු 31 වැනිදායින් අවසන් වන 2021/22 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන දෙවැනි අතරමැදි ලාභාංශ ගෙවීම ලෙසද සමාගම පවසයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන මාර්තු 15 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත (XD Date) දිනය ලෙස පෙබරවාරි 22 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස්හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් වැලිබල් පවර් එරත්න පීඑල්සී සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

වැලිබල් පවර් එරත්න පීඑල්සී සමාගම මීට පෙර 2021/22 මූල්‍ය වර්ෂය සඳහා පළමු අතරමැදි ලාභාංශ ගෙවීමක්ද සිදු කළ අතර, එම අවස්ථාවේදී සෑම සාමාන්‍ය ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් ශත 70ක් බැගින් ලාභාංශ ගෙවීම සිදු විය.

Visits: 273