ශ්‍රී ලංකා මහ බැංකුව ‘Lanka Remit’ විදේශ ප්‍රේෂණ ජාතික ජංගම යෙදුමක් හඳුන්වා දෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ අලුත්ම හඳන්වාදීම වන ‘Lanka Remit’ විදේශ ප්‍රේෂණ ජාතික ජංගම යෙදුම හඳුන්වාදීම ඊයේ දිනයේදී මහ බැංකු මූලස්ථානයේදී සිදුවිය. මහ බැංකුවෙහි මූලිකත්වයෙන් ලංකා ක්ලියර් (පෞද්) ආයතනය විසින් මෙම නව ජංගම යෙදුම නිර්මාණය කර තිබේ.

මේ හරහා වේගවත්, ආරක්ෂාකාරී සහ අඩු පිරිවැයක් සහිතව ශ්‍රී ලංකාවට මුදල් එවීමේ පහසුකම් ලබා දීම අරමුණු කරගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ ප්‍රේෂණ ප්‍රවාහන වැඩි කිරීම සඳහා මෙන්ම විධිමත් ක්‍රමවේද හරහා ප්‍රේෂණ රට තුළට ගලා ඒම ධෛර්යමත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව ගන්නා පියවර යටතේ මෙම නව හඳන්වාදීම සිදු කර තිබේ.

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය මෙන්ම ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අතින් මෙම නව Lanka Remit විදේශ ප්‍රේෂණ ජාතික ජංගම යෙදුම එළිදැක්වීම සිදුවිය.

“Lanka Remit තුළින් විදෙස්ගතව රැකියාවල නියුතුව සිටින ශ්‍රී ලාංකිකයන් හට ප්‍රේෂණ පහසුකම් සලසන්නන්ගේ දැනට පවතින ප්‍රේෂණ ක්‍රමවේද සඳහා ඍජු සම්බන්ධතාවය ජංගම යෙදවුම හරහා ලබා දෙන අතරම වඩා පහසු සහ ලාභදායී ප්‍රේෂණ ක්‍රමවේදය තෝරා ගැනීමටත්, එය ඔස්සේ ශී ලංකාවට සුදල් එවීම සිදු කරගැනීමටත් පහසුකම් සලසයි.” මහ බැංකුව පවසයි.

මෙහිදී ප්‍රේෂණ පහසුකම් සලසන්නන් ලෙස ලංකා බැංකුව, මහජන බැංකුව, සම්පත් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, කොමර්ෂල් බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, කාර්ගිල්ස් බැංකුව, මොබිටෙල් (පෞද්) ආයතනය සහ ඩයලොග් ආසිආටා, යන ආයතනයන් දැනටමත් ඉදිරිපත්ව සිටින අතර යථා කාලයේදී අනෙකුත් ප්‍රේෂණ පහසුකම් සලසන ආයතන මෙය සමග සම්බන්ධවීමට නියමිතව තිබේ.

මේ අතර Lanka Remit මගින් ඍජු බිල්පත් ගෙවීමේ පහසුකම, විදේශයන් හිදී නිකුත් කරන ලද විද්‍යුත් ගෙවීම් කාඩ්පත් හරහා ශ්‍රී ලංකාවට මුදල් එවීම වැනි වටිනාකම් එකතු කළ සේවාවන් රැසක්ද ලබා දීමට බලාපොරොතතු වන බවත් මහ බැංකුව පවසයි.

Visits: 95