සෙලින්කෝ ලයිෆ් 2020 වාර්ෂික වාර්තාව CMA හි හොඳම සංකලිත වාර්තා 10 අතරට

සෙලින්කෝ ලයිෆ් 2020 වාර්ෂික වාර්තාව, ශ‍්‍රී ලංකාවේ සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CMA) විසින් 7 වැනි වරටත් පිදුම් ලැබූ බව පවසයි.

ඒ අනුව ‘CMA සංකලිත වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන’ වැඩසටහනෙහි එම වසරේ හොඳම සංකලිත වාර්තා 10න් එකක් ලෙස සෙලින්කෝ ලයිෆ් 2020 වාර්ෂික වාර්තාව පිළිගැනීමට ලක් වී තිබේ.

ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා විසින් මෙම ගෞරවනීය සම්මානය දිනා ගත්තේ, මෙතෙක් වාර්තා වූ අභියෝගාත්මකම වසර තුළ සමාගම විසින් හොඳම සංස්ථාපිත පාලන ක‍්‍රමවේද අනුගමනය කරමින් මූල්‍ය සහ මූල්‍ය නොවන යන දෙඅංශයෙන්ම තම පාර්ශ්වකරුවන්ට අගයක් එකතු කළ ආකාරය පිළිබඳව අවබෝධයක් ලබා දෙන ‘ඩිරිස්කින් ද ෆියුචර්’ (Derisking the Future) නමැති වාර්ෂික වාර්තාව සඳහා ය.

CMA නිර්ණායක සපුරාලන ඒකාබද්ධ වාර්තා 41ක්, 2013 දෙසැම්බර් මාසයේදී නිකුත් කරන ලද ‘ජාත්‍යන්තර සංකලිත වාර්තාකරණ’ <IR> රාමුවේ දක්වා ඇති මාර්ගෝපදේශ භාවිතා කරමින් සමස්තයක් ලෙස ඇගයීමට ලක් කෙරිණි. ඇගයීම සඳහා ගිණුම්කරණ සහ මූල්‍ය තොරතුරු පමණක් නොව සංකලිත වාර්තාවල සපයා ඇති මූල්‍ය නොවන තොරතුරු ද සැලකිල්ලට ගෙන ඇත. ඉදිරිපත් කරන ලද වාර්තාල කීර්තිමත් ජාත්‍යන්තර සහ දේශීය විනිසුරුවරුන්ගෙන් සමන්විත පළපුරුදු ඇගයීම් මණ්ඩලයක් විසින් පරීක්ෂාවට ලක් කෙරිණි.

2011 අංක 3 දරන ‘රක්ෂණ කර්මාන්ත නියාමන’ (සංශෝධන) පනතේ 53 වැනි වගන්තිය යටතේ ජීවිත සහ සාමාන්‍ය රක්ෂණය වෙනම ව්‍යාපාරික ආයතන බවට වෙන් කිරීමෙන් පසුව, 2015 සිට සෙලින්කෝ ලයිෆ් සංකලිත වාර්තාකරණ රාමුව අනුගමනය කරයි. සංකලිත වාර්තාකරණය, සෙලින්කෝ රක්ෂණ සමාගම සිය අනේකවිධ පාර්ශ්වකරුවන් සඳහා තිරසාර වටිනාකමක් නිර්මාණය කරන ආකාරය පිළිබඳව සමස්ථ දැක්මක් ගෙන එයි.

සම්මානලාභී සෙලින්කෝ ලයිෆ් 2020 වාර්ෂික වාර්තාව නිර්මිත වාර්තාකරණ රාමු වූයේ මූල්‍ය වාර්තාකරණය, සංකලිත වාර්තාකරණය, සංස්ථාපිත පාලන වාර්තාකරණය සහ තිරසාර වාර්තාකරණයයි. වාර්තාවේ මුද්‍රිත පිටපත් අඩු කිරීමේ උත්සාහයක් ලෙස, කොටස් හිමියන්ට සහ අනෙකුත් පාර්ශ්වයන්ට සමාගමේ වෙබ් අඩවියෙන් වාර්තාව බාගත කිරීමට හෝ QR කේතයක් ස්කෑන් කිරීමෙන් ඔවුන්ගේ ඉලෙක්ට්‍රොනික උපාංග හරහා වාර්ෂික වාර්තාව සහ මූල්‍ය ප‍්‍රකාශ වෙත ප‍්‍රවේශ වීමට හැකියාව ලබා දෙන ලදී.

සංකලිත වාර්තාවක් සැකසීමට මූලික වන මාර්ගෝපදේශක මූලධර්මවලට, උපායමාර්ගික අවධානය සහ අනාගත නැඹුරුව, තොරතුරු අතර ඇති සහසම්බන්ධය, පාර්ශ්වකරුවන්ගේ සබඳතා, තොරතුරු වල වැදගත්කම, සංක්ෂිප්තබව, විශ්වසනීයත්වය සහ පරිපූර්ණබව සහ අනුකූලතාව සහ සංසන්දනාත්මක බව ඇතුළත් වේ. CMA ආයතනයට අනුව, සම්මාන සඳහා ඉදිරිපත් කරන ලද සංකලිත වාර්තා, ආයතනික දළ විශ්ලේෂණය සහ බාහිර පරිසරය, සංස්ථාපිත පාලනය, ව්‍යාපාර ආකෘතිය, අවදානම් සහ අවස්ථා, උපාය මාර්ග සහ සම්පත් බෙදා දීම, කාර්යසාධනය, ඉදිරි දැක්ම සහ පිළිගැන්වීමේ පදනම වැනි අංගවලින් සමන්විත විය යුතුය.

Visits: 95