ඇක්විටි පාට්නර්ස් සමාගමට නව සභාපතිවරයෙක් සහ ස්වාධීන අධ්‍යක්ෂවරු දෙදෙනෙක් පත්වෙති

DFCC බැංකුවේ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරන තිමල් පෙරේරා මහතා, ඇක්විටි පාට්නර්ස් (පුද්.) සමාගමේ [Acuity Partners (Private) Limited] අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති ලෙස පත්කර ඇතැයි එම සමාගම නිවේදනය කරයි.

ඇක්විටි පාට්නර්ස් යනු DFCC බැංකුවේ සහ හැටන් නැෂනල් බැංකුවේ සම-හිමිකාරීත්වය යටතේ පවතින, පූර්ණ-සේවා ආයෝජන බැංකුවකි.

මෙම පත්කිරීමට අමතරව, ලලිත් විතාන සහ සචිත් එන්. පෙරේරා යන මහත්වරුන් එම සමාගමේ නව ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරුන් ලෙස පත්කර ඇත.

මෙම නව පත්කිරීම් විශේෂයෙන්ම විගණනය සහ අවදානම් කළමනාකරණය යන අංශ වලට අදාළව එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය තවදුරටත් ශක්තිමත් කරනු ඇත. ඇක්විටි පාට්නර්ස් සමාගම මේ වනවිට ආයතනික මූල්‍ය, කොටස්, ස්ථාවර ආදායම් සුරැකුම්පත්, ‘වෙන්චර් කැපිටල්’ සේවාවන් සහ වත්කම් කළමනාකරණ සේවාවන් ඇතුළු සේවාවන් රාශියක් පිරිනමයි.

බැංකු ක්ෂේත්‍රයේ ප්‍රවීණ වෘත්තිකයෙකු වන තිමල් පෙරේරා මහතා 2022 ජනවාරි 01 දින ඇක්විටි පාට්නර්ස් හි සභාපති වරයා ලෙස නිල වශයෙන් වැඩ භාරගත්තේ ය. මූල්‍ය සේවා හා බැංකුකරණ ක්ෂේත්‍ර වල දේශීය හා ජාත්‍යන්තර වශයෙන් දශක දෙකකට අධික පළපුරුද්දක් ඒ මහතා සතු වේ.

මීට පෙර ඒ මහතා හැටන් නැෂනල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලෙස කටයුතු කරමින් එම බැංකුවේ පාරිභෝගික බැංකුකරණ හා කුඩා හා මධ්‍ය පරිමාණ බැංකුකරණ සේවා අංශයන් මෙහෙයවී ය. එමෙන්ම ඒ මහතා HSBC බැංකුව (ශ්‍රී ලංකාවේ සහ විදේශ රටවල), කටාර් රාජ්‍යයේ කොමර්ෂල් බැංකුව සහ සහ එක්සත් අරාබි රාජ්‍යයේ බාක්ලේස් බෑන්ක් පීඑල්සී යන බැංකු වලද සේවය කර තිබේ.

HSBC බැංකුවේදී ඒ මහතා කාඩ්පත් හා ඩිජිටල් නාලිකා ප්‍රධානී ලෙස කටයුතු කරමින්, මැද පෙරදිග සහ උතුරු අප්‍රිකානු කලාප වල ව්‍යාපාර කටයුතු අධීක්ෂණය කළේ ය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ඒ මහතා බාක්ලේස් බැංකුවේ අධ්‍යක්ෂ (පාරිභෝගික සේවා සහ ව්‍යාපාරික බැංකුකරණ) ලෙස කටයුතු කළ අතර, හැටන් නැෂනල් බැංකුව සමග එක් වූ පසුව ඒ මහතා HNB Assurance PLC, HNB General Insurance සහ HNB Grameen Limited යන සමාගම් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස සේවය කළේ ය. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයෙකු වන ඒ මහතා, එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සුදුසුකම්ද සපුරා ඇත.

ලලිත් විතාන මහතා, බැංකු, නිෂ්පාදන හා වෙළඳ ක්ෂේත්‍ර වල ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරු දැරූ, වසර 25 කට අධික පළපුරුද්දක් හිමි ප්‍රවීණ වෘත්තිකයෙකි. Brandix Group, Ernst and Youth, Amsterdam Rotterdam Amro Bank, IBM World Trade Corporation, Carson Cumberbatch, Ceylon Tea Services Limited සහ Yamaha Corporation USA වැනි සමාගම් රාශියක ඒ මහතා විවිධ තනතුරු දරා ඇත.

මීට පෙර ඒ මහතා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සමූහ ප්‍රධාන මූල්‍ය හා පරිපාලන නිලධාරී ලෙසත්, ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙසත් කටයුතු කර තිබේ. Agility Consulting Services (පුද්.) සමාගමේ නිර්මාතෘ හා කළමනාකාර අධ්‍යක්ෂවරයා වන ඒ මහතා, Laughs Gas PLC, Laughs Maritime Services (Private) Limited, Softlogic Life Insurance PLC සහ HNB Finance PLC යන සමාගම් වල අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කරයි.

එක්සත් රාජධානියේ මැන්චෙස්ටර් මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත් ඒ මහතා, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියක් (MBA) ලබාගත්තේ ය. එමෙන්ම ඒ මහතා වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය සහ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය යන ආයතන වලද සාමාජිකයෙකි. තවද ඒ මහතා ඇමරිකා එක්සත් ජනපදයේ Project Management Institute (PMI) හි ව්‍යාපෘති කළමනාකරණ වෘත්තිකයෙකුද වේ.

බැංකු ක්ෂේත්‍රයේ ප්‍රවීණ වෘත්තිකයෙකු වන සචිත් එන්. පෙරේරා මහතා, වසර 26 ක කාලයක් HSBC ආයතනයෙහි සේවය කර ඇති අතර, ඉන් වසර 12 ක කාලයක් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ HSBC ආයතනයේ භාණ්ඩාගාරික සහ ගෝලීය වෙළඳපොළ ප්‍රධානී ලෙස සේවය කළේ ය.

මෙම තනතුර තුළ ඒ මහතාගේ මූලික වගකීම් වූයේ විදේශ විනිමය හා අනුපාත කළමනාකරණය, ව්‍යුත්පන්න වෙළඳාම්, මූල්‍ය කළමනාකරණය සහ දේශීය කොටස් වල ආයෝජනය කරන විදේශීය ආයෝජකයන් වෙනුවෙන් භාරකාර සේවාවන් සැපයීම යනාදියයි.
එමෙන්ම ඒ මහතා HSBC ආයතනයේ විධායක, මූල්‍ය කළමනාකරණ, අවදානම් කළමනාකරණ සහ අනුකූලතා කමිටු වල සාමාජිකයෙකු ලෙසද කටයුතු කළේ ය. 2017 වර්ෂයේදී HSBC ආයතනයෙන් කල්තබා විශ්‍රාම ගත් ඒ මහතා, දේපළ වෙළඳාම් සහ සත්කාරක සේවා ක්ෂේත්‍ර වල වෙනත් ව්‍යාපාර කටයුතු වෙත යොමු විය.

අධ්‍යක්ෂ මණ්ඩලයට සිදුකරන ලද මෙම නව පත්කිරීම් සහ, ප්‍රධාන හවුල්කාර දෙපාර්ශ්වයේ අඛණ්ඩ සහයෝගය සමගින්, ආයෝජන බැංකුකරණ ක්ෂේත්‍රය තුළ තව තවත් ශක්තිමත් හා පුළුල් වෙමින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයෝජන බැංකුවක් ලෙස තමන් සතු ස්ථානය තවදුරටත් තහවුරු කරගැනීමට ඇක්විටි පාට්නර්ස් සමාගමට හැකියාව ලැබෙනු ඇත. නව පත්කිරීම් සමගින් ඇක්විටි පාට්නර්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය තිමල් පෙරේරා (සභාපති), රේ අබේවර්ධන (කළමනාකාර අධ්‍යක්ෂ), රජීව දිසානායක, දමිත් පල්ලෙවත්ත, සංජේ විජේමාන, ලලිත් විතාන සහ සචිත් එන්. පෙරේරා යන මහත්වරුන්ගෙන් සමන්විත වේ.

Visits: 140