LB finance හට අනුමැතිය හිමිව ඇත්තේ Multi Finance හි 64.63%ක් අත්පත් කරගන්නලු

ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ක්‍රියාත්මක කර තිබෙන බැංකු නොවන මූල්‍ය සමාගම් ඒකාබද්ධකරණ වැඩසටහන යටතේ LB Finance PLC සමාගම වෙත මහ බැංකුවෙහි මූලික අනුමැතිය හිමිව ඇත්තේ Multi Finance PLC සමාගමේ සාමාන්‍ය ඡන්ද හිමි කොටස් අතරින් 64.63%ක් අත්පත් කරගැනීමට බව LB finance සමාගම පවසයි.

මෙම කාරණාව සම්බන්ධයෙන් අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් LB Finance සමාගම මේ බව සඳහන් කර තිබේ.  

LB Finance සමාගම පවසන ආකාරයට පසුගිය වසරේ දෙසැම්බර් 10 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිකුත් කළ ලිපියක් හරහා මෙම අත්පත් කරගැනීම සහ ඒකාබද්ධ කිරිම පිළිබඳ යෝජනාව වෙනුවෙන් මූලික අනුමැතිය ලබා දීම සිදුව තිබේ. එසේම Multi Finance PLC වෙත අවශ්‍ය ප්‍රාග්ධන සැපයුමක් සඳහාද එහිදී අනුමැතිය හිමිව ඇතැයි සඳහන් වෙයි.

ඒ අනුව මෙහිදී Multi Finance PLC සමාගම නිකුත් කර ඇති සාමාන්‍ය ඡන්ද හිමි කොටසක් රුපියල් 9.72ක මුදලකට මිලදී ගැනීමට සූදානම් බවත් LB Finance PLC සමාගම පවසා සිටියි.

කෙසේ වෙතත් ඉහත සදහන් කළ අත්පත් කරගැනීමේ ක්‍රමවේදය තවදුරටත් සාකච්ඡාමය මට්ටමේ පවතින බවත්, එහි ඉදිරි තත්ත්වයන් දැනුම් දෙන බවත් LB Finance PLC සමාගම මෙහිදී කොළඹ කොටස් හුවමාරුවට දැනුම් දී තිබේ.

මෙම බැංකු නොවන මූල්‍ය සමාගම් ඒකාබද්ධකරණයේ ප්‍රගතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ඊයේ නිකුත් කරන ලද නිවේදනයක් තුළ LB Finance PLC සහ Multi Finance PLC ඒකාබද්ධකිරීමේ යෝජනාව පිළිබඳව සඳහන්ව තිබුණි.

Visits: 313