නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත ඉලක්කම් හතක මුදලකට ජනප්‍රිය Worldle අකුරු ක්‍රීඩාව මිලදී ගනී

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත ජනප්‍රිය අකුරු ක්‍රීඩා ඇප් වැඩසටහනක් වන Worldle මිලදී ගෙන ඇතැයි වාර්තා වෙයි. මෙතෙක් අනාවරණය නොකළ ඉලක්කම් හතක මුදලකට මෙම ගනුදෙනුව සිදුව තිබෙන බව සඳහන් වී තිබේ.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී නොමිලේ ක්‍රීඩා කළ හැකි ක්‍රීඩාවක් ලෙස නිකුත් කෙරුණු මෙම Worldle ක්‍රීඩාව අද වනවිට මිලියන ගණනක් තුළ වඩාත් ජනප්‍රිය ක්‍රීඩාවක් බවට පත්ව තිබේ. පරිගණක ඉංජිනේරුවරයෙකු වන Josh Wardle එහි නිර්මාතෘවරයාය.

මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති Wardle ඒ සම්බන්ධයෙන් ඉතාමත් සතුටට පත්වන බව පවසා තිබේ.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතද ඉදිරියටත් මෙම ක්‍රීඩාව නොමිලේ ලබාදිමට පියවර ගන්නා බව පවසා තිබේ.

මෙම ක්‍රීඩාවේදී එහි නිරතවන ක්‍රීඩකයාට අකුරු පහකින් සැකසෙන වචනයක් සෙවීමේ අභියෝගයක් භාර දෙයි. ඒ සඳහා අනුමාන හයක්ද ලබා දීම සිදු වෙයි.

මෙහිදී සෑම දිනකදීම අලුත් ප්‍රහේලිකාවක් ඉදිරිපත් කෙරෙන අතර, ක්‍රීඩකයන්ට තමන් කොපමණ වේගයකින් එම අකුරු ප්‍රහේලිකාව විසඳුවේද යන්න සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් කළ හැකිය. එහිදී තවමත් ක්‍රීඩාවේ නිරත වන අනෙකුත් ක්‍රීඩකයන්ට එම පිළිතුර නොපෙන්වීම මෙහි ඇති විශේෂත්වයයි.

Visits: 91