ආර්ථික අස්ථාවරත්වයත් සමග ආයෝජකයන් ලාභ ඉපැයීම නිසා වෙළෙඳ පොළ පහළට

අද (පෙබරවාරි 01) දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු සාර්ථක ආරම්භයක් සනිටුහන් කළද විශාල ප්‍රාග්ධනීකරණයක් සහිත සමාගම් තුළින් ලාභඉපැයීම් වෙත යොමුවීමට ආයෝජකයන් කටයුතු කිරීමත් සමගින්ම වෙළෙඳ පොළ පෙරදිනයට සාපේක්ෂව පසුබැසීමක් පෙන්නුම් කළ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

එසේම ඊයේ දිනයේදී මෙන් අද දිනයේදීද සොෆ්ට්ලොජික් සමූහයේ සමාගම් තුළ ඉහළ ගනුදෙනු සංඛ්‍යාවක් සිදු වූ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් බිලියන 3.96ක් එනම් 41%ක් සඳහාම එම සමූහය දායක වී තිබේ. එය දිනයේ පසු අවස්ථාවේදී දර්ශක අගයන් යම් තරමකින් ඉහළ යාමට හේතු විය. එහෙත් රටෙහි ආර්ථික අස්ථාවරත්වය ආයෝජක ක්‍රියාකාරකම් වෙත එල්ල කර ඇති බලපෑම දිනය පුරාම දැකගත හැකි වූ බව තැරැව්කාර සමාගම් සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 12,885.82ත් ඒකක 13,095.62ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 12,922.12ක් බවට පත්විය. එය ඊයේ (ජනවාරි 31) දිනයට සාපේක්ෂව ඒකක 87.38ක් එනම් -0.67%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ ලංකා අයිඕසී පීඑල්සී LIOC (+14.3), නවලෝක හොස්පිටල්ස් පීඑල්සී NHL (+10.6), ආසිරි හොස්පිටල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී ASIR (+6.7), ආසිරි සර්ජිකල් හොස්පිටල් පීඑල්සී AMSL (+5.1), ඇග්ස්ටාර් පීඑල්සී AGST (+5.0), එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-19.7), සොෆ්ට්ලොජික් ඉන්ෂුවරන්ස් පීඑල්සී AAIC (-13.1), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-12.9), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (-9.6), හේලීස් පීඑල්සී HAYL (-8.4) යනාදී සමාගම්ය.

පෙර සිදුකළ සාකච්ඡාවකට අනුව ජැට් හෝල්ඩිංග්ස් පීඑල්සී සහ සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී තුළ සිදුවුණු ගනුදෙනු පිරිවැටුමෙන් 0.5%ක ප්‍රතිශතයක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 98ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 128ක මිල ගණන් පහළ ගොස් ඇත.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 4,344.42ක අගයක් ගත් අතර, එය ඊයේ (ජනවාරි 31) ‍ට සාපේක්ෂව ඒකක 53.15ක එනම් -1.21%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 9.71ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (ජනවාරි 31) වාර්තා කළ රුපියල් බිලියන 6.93ට  සාපේක්ෂව 40% ක ඉහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 5.76ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 5.0%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 76.37ක් ලෙස සටහන් විය. එසේම දිනය තුළ සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 164.23ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 87.86කි. ඒ අනුව වසර තුළ මේ දක්වා පිටතට ගලා ගිය සමස්ත විදේශ ආයෝජනවල වටිනාකම රුපියල් බිලියන 2.78 ක් බවට පත්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ජෝන්කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන  16.01කි. එසේම විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 36.63ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 3,250ක් සඳහා රක්ෂණ අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 34%කි. එසේම ආහාර, පානවර්ග සහ දුම්කොළ නිෂ්පාදන හා ප්‍රාග්ධන භාණ්ඩ අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 1,310ක සහ රුපියල් මිලියන 1,250ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 294