සොෆ්ට්ලොජික් සමූහයත් සමඟින් දින හතරකට පසුව වෙළෙඳ පොළ යළි නැඟිටියි

අද (ජනවාරි 31) දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ඉහළ ගැණුම්බරතාවකින් ක්‍රියාත්මක වූ බව තැරැව්කාර සමාගම් පවසයි. ඒ අනුව දින හතරකට පසුව දර්ශක අගයන් ඉහළ යාමක් දැකගත හැකිවිය. විශේෂයෙන්ම සොෆ්ට්ලොජික් සමූහයේ සමාගම්වල ගනුදෙනු පිරිවැටුමෙන් 38%ක් සඳහා දායක වී තිබේ.

එහිදී එම සමූහයේ රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණ සමාගම කැපී පෙනෙන ගනුදෙනු ප්‍රමාණයක් පෙන්නුම් කර තිබේ.

මේ අතර LOLC සමුහය ඇතුළු අනෙකුත් විශාල ප්‍රාග්ධනයක් සහිත සමාගම් වෙතින් ආයෝජකයන් ලාභ ඉපැයිමක් දැකගත හැකි වුවත්, පසුව එය යථාතත්ත්වයට පත්වූ බවත් කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 12,863.14ත් ඒකක 13,049.55ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 13,009.50ක් බවට පත්විය. එය පසුගිය සිකුරාදා (ජනවාරි 28) දිනයට සාපේක්ෂව ඒකක 146.36ක් එනම් +1.14%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+22.8), සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී SHL (+21.8), සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී AAIC (+14.9), සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී SCAP (+11.5), ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී ASIR (+8.6), එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-21.7), සම්පත් බැංකුව SAMP (-6.2), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (-4.8), හැටන් නැෂනල් බැංකුව පීඑල්සී HNB (-2.9), එල්බී ෆිනෑන්ස් පීඑල්සී LFIN (-2.7) යනාදී සමාගම්ය.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 141ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 86ක මිල ගණන් පහළ ගොස් ඇත.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 4,397.57ක අගයක් ගත් අතර, එය පසුගිය සිකුරාදා (ජනවාරි 28) ‍ට සාපේක්ෂව ඒකක 17.02ක එනම් +0.39%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 6.93ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පසුගිය සිකුරාදා (ජනවාරි 28) වාර්තා කළ රුපියල් බිලියන 6.4ට  සාපේක්ෂව 9% ක ඉහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 5.82ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 5.94%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 87.68ක් ලෙස සටහන් විය. එසේම දිනය තුළ සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 290.55ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 202.88කි. ඒ අනුව වසර තුළ මේ දක්වා පිටතට ගලා ගිය සමස්ත විදේශ ආයෝජනවල වටිනාකම රුපියල් බිලියන 2.69 ක් බවට පත්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ඩයලොග් ආසිආටා පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන  22.0කි. එසේම විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 95.05ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 2,280ක් සඳහා රක්ෂණ අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 33%කි. එසේම ප්‍රාග්ධන භාණ්ඩ සහ ආහාර, පානවර්ග සහ දුම්කොළ නිෂ්පාදන අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 1,180ක සහ රුපියල් මිලියන 931ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 344