සංචාරක ව්‍යාපාරයටත් LANKA QR කේතය හදුන්වා දීමට සැලසුම්

ජංගම දුරකථනය මගින් මුදල් ගෙවීම සදහා මහ බැංකුව විසින් හදුන්වා දෙන LANKA QR කේතය සංචාරක කර්මාන්තයට ද හදුන්වා දීමට අවධානය යොමුව ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

පසුගියදා පැවැත්වුණු LANKA QR කේතය ගම්පහ ජනගත කිරිමේ උත්සව අවස්ථාවට එක්වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කර තිබේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් අදාළ අංශ සමග සාකච්ඡා කර ඉදිරි පියවර ගැනීමට නියමිතබව අමාත්‍යවරයා මෙහිදී පවසා තිබේ.

ලෝකයේ බොහෝවල රටවල විවිධ ක්ෂේත්‍ර වලට ඩිජිටල් තාක්ෂණය හදුන්වා දිමට කටයුතු කරමින් සිටින බවත්, කොව්ඩ් වසංගතයත් සමග මෙවැනි නවින ක්‍රම වේදයන්හි අවශ්‍යතාවයන් වැඩි වශයෙන් පැන නැගී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

ඒ අනුව නවීන තාක්ෂණය උපයෝගි කරගනිමින් රට ඉදිරියට ගෙන යාම සදහා වත්මන් රජය කටයුතු කරමින් සිටින බවද හෙතෙම සඳහන් කළේය.

ඩිජිටල්කරණ වැඩපිළිවෙල සාර්ථක කර ගැනිම සදහා මේ වන විටත් පියවර රැසක් රජය ගෙන තිබේ. එසේම ඉදිරියේ දි නව අණපණත් කීපයක් ද හදුන්වා දීමට ද රජය  අපේක්ෂා කරන බව රණතුංග මහතා මෙහිදී පවසා තිබේ.

රාජ්‍ය ආයතන ඩිජිටල්කරණයට ලක් කිරීමෙන් අභියෝගය මුලින්ම භාර ගත්තේ තමන් බවපෙන්වා දී ඇති ප්‍රසන්න රණතුංග ඇමතිවරයා කටුනායක ගුවන් තොටුපළට ඩිජිටල් තාක්ෂණය හදුන්වා දීම මේ වන විට සිදු කෙරෙමින් තිබෙන බව ද කීවේය. මේ වසර මැද වන විට පළමු අදියර අවසන් කිරීමට අපේක්ෂිතයි.

ඒ අනුව ගුවන් මගියෙකු ගුවන් තොටුපළට පැමිණ ගුවන් යානයේ අසුන් ගන්නා අවස්ථාව දක්වාත් මෙරටට පැමිණෙන ගුවන් මගියෙකු ගුවන් යානයෙන් බැස ගුවන් තොටුපළින් පිටතට පැමිණෙන අවස්ථාව දක්වා සියලු කාර්යයන් ඩිජිටල් තාක්ෂණය උපයෝගී කර ගනිමින් කඩිනම් කිරිමට කටයුතු යොදා ඇතැයි ද රණතුංග මහතා සඳහන් කර තිබේ. ලබන වසර තුළ අවසන් කිරීමට නියමිත කටුනායක ගුවන් තොටුපළ නව මගී පර්යන්තය ද සම්පුර්ණයෙන් ම ඩිජිටල්කරණයට ලක්කරන බව ද ඔහු පවසා ඇත.

මෙම අවස්ථාවට මහ බැංකුවේ සහකාර අධිපති ධර්ම ශ්‍රි කුමාරතුංග, ගම්පහ නගරාධිපති එරංග සේනානායක, ගම්පහ ප්‍රාදේශිය ලේකම්, ගම්පහ සියලු බැංකු ප්‍රධානීන් සහභාගී වී තිබේ.

Visits: 48