විදේශිකයන් හෝටල් වෙත සිදු කරන ගෙවීම් භාරගැනීම විදේශ විනිමයෙන්ම පමණයි – මහ බැංකුව

මෙරටට පැමිණෙන විදේශිකයන් (ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයන්) සිදු කරන ගෙවීම් විදේශ විනිමයෙන් පමණක් භාර ගැනීම සඳහා හෝටල් සේවා සැපයුම්කරුවන්ට අනිවාර්යය කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව ඊට අදාළව මුදල් මණ්ඩලය විසින් රීති නිකුත් කර ඇති බවත්, මෙම රීති 2022 ජනවාරි 21 දිනැති අංක 2263/41දරන අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇති බවත් මහ බැංකුව සඳහන් කරයි.

ඒ අනුව මෙම රීති නිකුත් කිරීමත් සමග ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි බලපත්‍රලාභී හෝටල් සේවා සැපයුම්කරුවන් විසින් මෙම විදේශිකයන් සඳහා සපයනු ලබන සේවාවන් සම්බන්ධයෙන් ගෙවීම් විදේශ විනිමයෙන් පමණක් භාරගත යුතුව තිබේ.

එසේම එම විදේශ මුදල් හෝටල් සේවා සැපයුම්කරුගේ ව්‍යාපාරික විදේශ මුදල් ගිණුමකට බැර කිරීම හෝ බලපත්‍රලාභී බැංකුවකට විකිණීම ව්‍යාපාරික දින තුනක් ඇතුළත සිදු කළ යුතුව ඇත.

මීට අමතරව විදේශිකයන් විසින් විද්‍යුත් මුදල් හුවමාරු කාඩ්පත් (ණයපත්, හරපත්, සංචාරක කාඩ්පත්) හරහා සිදු කරන ගෙවීම් හෝටල් සේවා සැපයුම්කරුවාගේ ව්‍යාපාරික විදේශ මුදල් ගිණුමකට බැර කළ යුතුව තිබේ.

මේ අතර ශ්‍රී ලංකාවට ගෙන එන ලද විදේශ මුදල් බලපත්‍රලාභී බැංකුවක් හෝ බලයලත් මුදල් හුවමාරුකරන්නෙකු හරහා ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කරන ලද බවට අදාළ මුල් ලේඛන ලබාදිය හැකි නම්, හෝටල් සේවා සැපයුම්කරුවන්ට විදේශිකයන් විසින් ශ්‍රී ලංකා රුපියල්වලින් කරන ගෙවීම් භාර ගත හැකි බවත් මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 239