සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් 1:10 බැගින් කොටස් අතුරු බෙදීමක

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී (CCS.N0000) සමාගම සිය කොටස් අතුරු බෙදීමක් සඳහා තීරණය කර ඇතැයි පවසයි. ඊයේ පැවැත්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ සඳහා වන අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව සමාගම මගින් දැනට නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි එක් කොටසක්, කොටස් 10ක් ලෙසට මෙම කොටස් අතුරු බෙදීම සිදු කිරිමට තීරණය වී තිබේ.

අද වනවිට සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී සමාගම මගින් නිකුත් කර ඇති ඡන්ද හිමි සාමාන්‍ය කොටස් ප්‍රමාණය 95,040,000 කි. ඒ අනුව මෙම අතුරු බෙදීමත් සමගින්ම එම කොටස් සංඛ්‍යාව 950,400,000ක් දක්වා ඉහළ යාම සිදු වෙයි.

කෙසේ වෙතත් මෙම කොටස් අතුරු බෙදීම හරහා කිසිදු ලෙසකින්වත් සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනයේ ඉහළ යාමක් සිදු නොවන බවත් සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී පවසයි.

මේ අතර අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණය කර ඇති මෙම කොටස් අතුරු බෙදීම සම්බන්ධ අවසන් තීරණය සමාගමේ කොටස් හිමිකරුවන් විසින් ගනු ඇති බවත්, ඉදිරියේදී පැවැත්වෙන සමාගමේ විශේෂිත මහා සභා රැස්වීමේදී එය යෝජනාවක් ලෙස ඉදිරිපත් කරන බවත් සමාගම පවසයි.

ඊයේ දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී සිලෝන් කෝල්ඩ් සිටෝර්ස් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 525.75ක් ලෙස සටහන්ව තිබුණි. එය පසුගිය සිකුරාදා කොටසක වටිනාකම වූ රුපියල් 526.25ට සාපේක්ෂව ශත 50ක එනම් -0.10%ක අඩුවීමකි.

Visits: 384