JKH හි විදේශ ගනුදෙනු සමග වාර්තාගත රු.බිලියන 18ක දෛනික පිරිවැටුමක්

අද (ජනවාරි 24) දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු තුළදී පෙර සිදු කළ සාකච්ඡාවකට අනුව ජෝන්කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සීහි විදේශිය ආයෝජකයන් අතර සිදු වුණු ගනුදෙනුව, රුපියල් බිලියන 18ක දෛනික පිරිවැටුමක් සඳහා දායක විය. මෙය පසුගිය වසරේ පෙබරවාරි 01 වැනිදායින් පසුව වාර්තා කළ ඉහළ දෛනික පිරිවැටුම ලෙසද සඳහන් වෙයි.

කෙසේ වෙතත් රට තුළ ක්‍රමයෙන් ඉහළ යන කොවිඩ්-19 ආසාදිතයන් සහ බලශක්ති අර්බුදය මෙන්ම ගෝලීය වෙළෙඳ පොළ තුළ පවතින පසුගාමී තත්ත්වය යනාදී කාරණා හේතුවෙන් ආයෝජකයන් තුළ යම් කණස්සලු ස්වභාවයක් පැවැති බවත් එය දර්ශක අගයන් වෙත බලපෑ බවත් කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

මේ අතර අද දිනයේදී හඳුන්වාදුන්  සියලු කොටස් මිල දර්ශකය ගණනය කිරීමේ නව ක්‍රමවේදය නිසාද ආයෝජකයන් අතර යම් පසුබැසිමක් ඇති කිරීමට හේතුවිය. මේ කාරණා සමග දිනයේ පළමු අර්ධයේදී ආයෝජකයන් අතර ලාභ ඉපැයීමක් දැකගත හැකි වුවත්, පසුව වටිනා සමාගම්වල කොටස් මිලදී ගැනීම කෙරෙහි උනන්දුව ඉහළ ගිය බව තැරැව්කාර සමාගම් පවසයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 13,232.49ත් ඒකක 13,466.96ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 13,384.11ක් බවට පත්විය. එය පසුගිය සිකුරාදා (දෙසැම්බර් 21) දිනයට සාපේක්ෂව ඒකක 12.50ක් එනම් +0.09%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+20.0), හේලීස් පීඑල්සී HAYL (+10.0), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (+7.1), ලයන් බෘවරි සිලෝන් පීඑල්සී LION (+5.5), ඩීසල් ඇන්ඩ් මෝටර් ඉංජිනියරිං පීඑල්සී DIMO (+4.7), ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (-16.4), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-8.9), සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී SHL (-7.4), වැලිබල් වන් පීඑල්සී VONE (-5.1), සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී CINS (-3.9) යනාදී සමාගම්ය.

පෙර දිනයේ සිදු කළ සාකච්ඡාවලට අනුව ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සහ කැලනි කේබල්ස් පීඑල්සී තුළ සිදු වුණු ගනුදෙනු සමස්ත පිරිවැටුමෙන් 70.6%ක දායකත්වයක් ලබා දී තිබේ.  

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 88ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 138ක මිල ගණන් පහළ ගොස් ඇත.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 4,627.03ක අගයක් ගත් අතර, එය පසුගිය සිකුරාදා (ජනවාරි 21) ‍ට සාපේක්ෂව ඒකක 22.04ක එනම් +0.48%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 18.42ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පසුගිය සිකුරාදා (ජනවාරි 21) වාර්තා කළ රුපියල් බිලියන 4.95ට  සාපේක්ෂව 272% ක පහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 6.02ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 9.61%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 12.92ක් ලෙස සටහන් විය. එසේම දිනය තුළ සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 12.96ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 43.08කි. ඒ අනුව වසර තුළ මේ දක්වා පිටතට ගලා ගිය සමස්ත විදේශ ආයෝජනවල වටිනාකම රුපියල් බිලියන 2.36 ක් බවට පත්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ද ගාර්ඩියන් කැපිටල් පාර්ට්නර්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන  8.32කි. එසේම විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 35.18ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 14,145ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 77%කි. එසේම ප්‍රවාහන සහ ආහාර, පාන වර්ග සහ දුම්කොළ අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 1,093ක සහ රුපියල් මිලියන 1‍,087ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 280