දේශීයව නිෂ්පාදිත සහ එකලස් කෙරුණු මෝටර් රථ පෙළපාලියක් පෙබරවාරි 03දා

ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය 2022ට සමගාමීව දේශීය මෝටර් රථ නිෂ්පාදකයන් සහ එකලස් කරන්නන් ඉදිරිපත් කරන මෝටර් රථ පෙළපාලියක් ලබන පෙබරවාරි 03 වැනිදා කොළඹ බෞද්ධාලෝක මාවතේදී පැවැත්වෙන බව කර්මාන්ත සංවර්ධන මණ්ඩලය පවසයි.

මෙම මෝටර් රථ පෙළපාලිය සඳහා දේශීයව මෝටර් රථ නිෂ්පාදනය කරන සහ එකලස් කරන සමාගම් 13ක් ඉදිරිපත්විමට නියමිතව ඇති බවත්, එම සමාගම් අතර අයිඩියල් මෝටර්ස්, යුනයිටඩ් මෝටර්ස්, මයික්‍රෝ, අශෝක් ලේලන්ඩ් සහ වේගා ඉනොවේෂන්ස් ඇතුළුව තවත් යතුරු පැදි සහ ත්‍රීවිල් රථ එකලස් කරන සමාගම් කිහිපයක්ම සිටින බවත් එහි නිලධාරියෙකු ‘ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා සිදුකළ විමසීමකට පිළිතුරු දෙමින් පැවසීය.

“කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ලියාපදිංචිවී සිටින දේශීයව මෝටර් රථ නිෂ්පාදන සහ එකලස් කිරීමේ නිරත සමාගම් මේ විදියට එම පෙළපාලිය සඳහා සහභාගි වන බව දැනුම් දී තිබෙනවා. ඒ අනුව මෝටර් රථ 50කට අධික සංඛ්‍යාවක් ඊට සහභාගි වීමට නියමිතව තිබෙනවා.” යනුවෙන්ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

ප්‍රථමවරට සංවිධානය කෙරෙන මෙම අවස්ථාව හරහා දේශීය මෝටර් රථ කර්මාන්තය ජාත්‍යන්තරය කරා ප්‍රවර්ධනය කිරීම අරමුණ වී තිබේ.

මෙම අවස්ථාව පිළිබඳ වැඩිදුර විස්තර දුරකතන අංක 076 5598889 දුරකතන අංකය ඇමතීමෙන් ලබා ගත හැකිය. ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය 2022 ලබන පෙබරවාරි 03 වැනිදා සිට 06 වැනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

Visits: 304