රුපියල් මිලියන 640ක ලිබර්ටි ආර්කේඩ් ගනුදෙනුව අහවර කෙරේ

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කලම්බු ලෑන්ඩ් ඇන්ඩ් ඩිවලොප්මන්ට් කම්පැනි පීඑල්සී (CLND.N0000) සමාගමට අයත් ලිබර්ටි ආර්කේඩ්හි පර්චස් 36.88ක භූමිය පිළිබඳ ගනුදෙනුව සිදු කර හමාර කළ බව එම සමාගම පවසයි.

ඒ අනුව පසුගිය ජනවාරි 20 වැනිදා මෙම ගනුදෙනුව සිදු කළ බවත්, එහිදී සීවිව් ප්‍රොපර්ටි ඩිවලොපර්ස් (පෞද්) සමාගම වෙත එම භූමිය රුපියල් මිලියන 640ක මුදලකට අලෙවි කළ බවත් සමාගම සඳහන් කරයි.

මෙම මිලදී ගැනීම සඳහා වන ගිවිසුම පසුගිය 2021 නොවැම්බර් මාසයේ 19 වැනිදා අදාළ පාර්ශ්වයන් අතර අත්සන් තැබූ අතර, එම ගිවිසුමෙහි එකඟතාවන්ට අනුව 2022 ජනවාරි 31 වැනිදාට පෙරාතුව එය සම්පූර්ණ කළ යුතුව තිබුණි.

මෙම ලිබර්ටි ආර්කේඩ් පරිශ්‍රයට අමතරව කලම්බු ලෑන්ඩ් ඇන්ඩ් ඩිවලොප්මන්ට් කම්පැනි පීඑල්සී සමාගම මගින් ලිබර්ටි ප්ලාසා සහ නිව් රීටේල් පෝඩියම් යන පරිශ්‍රයන්ද කළමනාකරණය කරයි.

කලම්බු ලෑන්ඩ් ඇන්ඩ් ඩිවලොප්මන්ට් කම්පැනි පීඑල්සීහි ප්‍රධාන කොටස් හිමිකරුවා වන්නේ න්ග් යාඕ එයුජින් මහතාය. ඔහු සතු කොටස් ප්‍රතිශතය 23.711%කි. දෙවැනි වැඩිම කොටස් හිමිකාරිත්වය ඇත්තේ හික්කඩුව බීච් රිසෝට් පීඑල්සී සමාගමටයි.එය 20.21%කි. නාගරික සංවර්ධන අධිකාරිය වෙත එහි 17.447%ක කොටස් ප්‍රතිශතයක් හිමිය.

කලම්බු ලෑන්ඩ් ඇන්ඩ් ඩිවලොප්මන්ට් කම්පැනි පීඑල්සීහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන්නේ හර්ෂාන්ද සිල්වා, මංගල ගුණතිලක, වාසුල ප්‍රේමවර්ධන, සර්වා අමරසේකර, න්ග් යාඕ එයුජින්, ලලිත් අබේසිරිවර්ධන, දිලිත් ජයවීර, අසෝක වීරසූරිය යන අයයි.

Visits: 788