EXPO වටිනාකම් ඉහළ යාමෙන් දර්ශක අගයන් ඉහළට

අද (ජනවාරි 21) දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ආරම්භයේ සිටම LOLC සමූහයේ සහ EXPO සමාගම් අතර කොටස් වෙතින් ආයෝජකයන් ලාභ ඉපැයීම් වෙත යොමුවීමක් දැකගත හැකි වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහෙත් දිනයේ පසු භාගයේදී EXPO වටිනාකම් ඉහළ යාම නිසා දර්ශක අගයන් ඉහළ යාම සිදුව තිබේ. එසේම වටිනා සමාගම්වල කොටස් වෙත ආයෝජක ආකර්ෂණය තවදුරටත් ඉහළ මට්ටමේ පැවතුණු බවත් තැරැව්කාර සමාගම් සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 13,329.99ත් ඒකක 13,429.39ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 13,371.61ක් බවට පත්විය. එය ඊයේ (දෙසැම්බර් 20) දිනයට සාපේක්ෂව ඒකක 10.44ක් එනම් +0.08%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+21.8), ආසිරි හොස්පිටල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී ASIR (+9.1), කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (+8.3), නමුනුකුල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී NAMU (+4.0), සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී CINS (+3.4), ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (-10.5), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-9.3), එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (-7.8), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (-3.1), එල්බී ෆිනෑන්ස් පීඑල්සී LFIN (-2.6) යනාදී සමාගම්ය.

පෙර දිනයේ සිදුකළ සාකච්ඡාවලට අනුව එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සීහි සිදු වුණු ගනුදෙනු සමස්ත පිරිවැටුමෙන් 0.8%ක දායකත්වයක් ලබා දී තිබේ.  

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 100ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 123ක මිල ගණන් පහළ ගොස් ඇත.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 4,604.99ක අගයක් ගත් අතර, එය ඊයේ (ජනවාරි 20) ‍ට සාපේක්ෂව ඒකක 0.19ක එනම් +0.0%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 4.95ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (ජනවාරි 20) වාර්තා කළ රුපියල් බිලියන 7.08ට  සාපේක්ෂව 30% ක පහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 6.02ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 9.62%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 72.80ක් ලෙස සටහන් විය. එසේම දිනය තුළ සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 119.17ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 46.37කි. ඒ අනුව වසර තුළ මේ දක්වා පිටතට ගලා ගිය සමස්ත විදේශ ආයෝජනවල වටිනාකම රුපියල් බිලියන 2.32 ක් බවට පත්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ද කලම්බු ෆෝර්ට් ලෑන්ඩ් ඇන්ඩ් බිල්ඩිංග් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන  33.17කි. එසේම විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 33.86ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 1,209ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 24%කි. එසේම ප්‍රවාහන සහ ආහාර, පාන වර්ග සහ දුම්කොළ අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 764ක සහ රුපියල් මිලියන 760ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 295