2021 දෙසැම්බරයේදී උද්ධමනය 14%ක් වෙයි

පසුගිය 2021 වසරේ දෙසැම්බර් මාසයේදී මෙරට උද්ධමනය 14%ක් ලෙස සටහන් වූ බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු දත්ත උපුටා දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි. 2021 නොවැම්බර් මාසයේදී එය 11.1%ක අගයක් විය.

එම දෙපාර්තමේන්තුව මගින් ගණනය කරන ජාතික පාරිභෝගික මිල දර්ශකය (2013=100) පදනම් කරගනිමින් මෙම උද්ධමනය මනිනු ලබයි.

මේ අතර වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස 2021 නොවැම්බර් මාසයේදී පැවැති 6.2% සිට 2021 දෙසැම්බර් මාසයේදී 7.0ක් දක්වා ඉහළ යාමත් සිදුව තිබේ.

මෙලෙස උද්ධමනය ඉහළ යාම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන් හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු වූ බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 නොවැම්බර් මාසයේදී පැවැති 16.9% සිට 2021 දෙසැම්බර් මාසයේදී 21.5%ක් දක්වා ඉහළ ගිය බවත්, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 නොවැම්බර් මාසයේ පැවැති 6.2%සිට 2021 දෙසැම්බර් මාසයේදී 7.6%ක් දක්වා ඉහළ ගොස් තිබේ.

2021 දෙසැම්බර් මාසයේදී ආහාර කාණ්ඩය තුළ එළවළු, සහල් සහ අමු මිරිස් මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. එසේම ආහාර නොවන කාණ්ඩය තුළ ප්‍රධාන වශයෙන් ආපනශාලා සහ හෝටල්, මධ්‍යසාර පාන වර්ග සහ දුම්කොළ (මත්පැන්, බුලත්) යන උපකාණ්ඩවල අයිතමවල මිල ගණන් 2021 දෙසැම්බර් මාසයේදී ඉහළ ගොස් තිබේ.

Visits: 131