ශ්‍රී ලාංකිකයින්ට ලබා දෙන රැකියා අවස්ථා ඉහළ දමන්නැයි අගමැති මහින්ද දකුණු කොරියාවෙන් ඉල්ලයි

ශ්‍රී ලංකාව සඳහා වෙන් කර ඇති රැකියා අවස්ථා ප්‍රමාණය ඉහළ නැංවීම සම්බන්ධයෙන් සලකා බලන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දකුණු කොරියාවෙන් ඉල්ලීමක් කළ බව අගමැති කාර්යාලය පවසයි.

දකුණු කොරියානු ජාතික සභාවේ කථානායක පාර්ක් බෙංග් සෙග් මහතා (Park Byeong seug) ඊයේ (20) අරලියගහ මන්දිරයේ දී හමුවූ අවස්ථාවේ අග්‍රාමාත්‍යතුමා මෙම ඉල්ලීම කර තිබේ.

දකුණු කොරියානු කථානායකවරයකු මෙරට නිල සංචාරයක නිරතවන්නේ වසර 10කට පසුවයි.

අග්‍රාමාත්‍යතුමාගේ ඉල්ලීම කෙරෙහි ධනාත්මක ප්‍රතිචාර දැක්වූ දකුණු කොරියානු කථානායක පාර්ක් බෙංග් සෙග් මහතා, “තරුණ, දක්ෂ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් අප දෙරටේම ආදායම් වර්ධනයට දායක වීම ගැන මම සතුටු වෙනවා.”යැයි පැවසූ බව අගමැති කාර්යාලය සඳහන් කරයි.

විදේශ අමාත්‍යාංශයට අනුව මේ වන විට දළ වශයෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්  22,000ක් පමණ දකුණු කොරියාවේ රැකියාවල නිරතව සිටිති. 2019 වර්ෂයේ දී ඔවුන් දළ වශයෙන් ඩොලර් මිලියන 520ක් මෙරටට එවා තිබේ.

දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ  ප්‍රේෂණවල දායකත්වය මුළු විදේශ ප්‍රේෂණවලින් සියයට 7.75% ක් වන අතර එය ශ්‍රී ලංකාවේ මුළු දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.62% ට සමාන වේ. 

2019 වර්ෂයේදී දකුණු කොරියාව ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා රැකියා අවස්ථා 3,600ක් වෙන් කර තිබිණි. එසේ වුව ද කොවිඩ්-19 වසංගත තත්ත්වය  හේතුවෙන් එම ප්‍රමාණය 2020 වර්ෂයේ දී 500ක් දක්වා අඩු විය. එතැන් පටන් ‌මේ දක්වා ආසන්න වශයෙන් ශ්‍රී ලාංකිකයන් 400 ක් පමණ දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමිකරගෙන ඇති අතර එම පිරිස එරටට යාමට බලාපොරොත්තුවෙන් පසුවෙති.

මාස 20ක කාලයකට පසු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 33 දෙනෙකුගෙන් යුත් පළමු කණ්ඩායම පසුගිය මාසයේ දී දකුණු කොරියාවට ළඟා වී තිබේ.

Visits: 106