හපුගස්තැන්න සහ උඩපුස්සැල්ලාව කළමනාකරණයන්ට LOLC සමූහයේ දැක්ම සහ වටිනාකම් පහදා දෙයි

LOLC සමූහයට අයත් ආයෝජන හස්තය වන බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම විසින් පසුගියදා අත්පත් කරගන්නා ලද හපුගස්තැන්න ප්ලාන්ටේෂන්ස් පීඑල්සී (HAPU.N0000) සහ උඩපුස්සැල්ලාව ප්ලාන්ටේෂන්ස් පීඑල්සී (UDPL.N0000) යන සමාගම්හි ඉහළ කළමනාකරණ කණ්ඩායම් පිළිගැනීමේ උත්සවයක් පසුගියදා LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් සංවිධානය කර තිබේ.

මෙම අවස්ථාව හරහා එම කළමනාකරණය වෙත LOLC සමූහයේ දැක්ම සහ මූලික වටිනාකම් පිළිබඳව හඳුන්වාදීම අරමුණ වූ බව LOLC හෝල්ඩිංග්ස් සමාගම පවසයි.

මෙම අවස්ථාව සඳහා LOLC හෝල්ඩිංග්ස් පීඑල්සීහි සමූහ කළමනාකරණ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී කපිල ජයවර්ධන, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සීහි අධ්‍යක්ෂ කමන්ත අමරසේකර, LOLC හෝල්ඩිංග්ස් පීඑල්සීහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී/ප්‍රධාන නීති නිලධාරී කිත්සිරි ගුණවර්ධන, LOLC හෝල්ඩිංග්ස් පීඑල්සීහි ප්‍රධාන මානව සම්පත් නිලධාරී, මතුරට ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් විධායක සභාපති ප්‍රදීප් උලුවඩුගේ, LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී ප්‍රධාන මූල්‍ය නිලධාරී සංජීවනි කොටකදෙණිය, හපුගස්තැන්න ප්ලාන්ටේෂන්ස් පීල්සී සහ උඩපුස්සැල්ලාව ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සභාපති අනුෂ පෙරේරා, Finlays Tea Estates හි ප්‍රධාන විධායක නිලධාරී දුෂාන් රත්වත්තේ යන මහත්වරුන් ඇතුළු අනෙකුත් නිලධාරීන් සහභාගි වී තිබේ.

එක්සත් රාජධානියේ පිහිටි Finlays සමාගමට අයත් මෙරට පිහිටි වැවිලි සමාගම් දෙකක් ලෙස මෙම හපුගස්තැන්න ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සහ උඩපුස්සැල්ලාව ප්ලාන්ටේෂන්ස් පීඑල්සී යන සමාගම් ක්‍රියාත්මකව පැවතුණි. එහෙත් එම සමාගම සියවසකට අධික කාලයක් මෙරට තුළ සිදුකළ මෙහෙයුම් අවසන් කරමින් එම වැවිලි සමාගම් දෙකම LOLC සමූහයට අලෙවි කිරිමට පසුගියදා තීරණය කර තිබේ.

ඒ අනුව 2020 දෙසැම්බර් 22 වැනිදා සිදු වූ ගනුදෙනුවකදී LOLC සමූහයේ ආයෝජන හස්තය වන බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම යටතේ පූර්ණ අනුබද්ධිත සමාගමක් වන බ්‍රවුන්ස් පවර් සමාගම මගින් මෙම මිලදී ගැනීම සිදුවී තිබේ.

එහිදී හපුගස්තැන්න ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සහ උඩපුස්සැල්ලාව ප්ලාන්ටේෂන්ස් පීඑල්සී යන සමාගම් දෙකෙහිම පිළිවෙළින් 90%ක කොටස් ප්‍රතිශත අත්පත්කරගැනීම බ්‍රවුන්ස් සමාගම කටයුතු කළ අතර, එහි සමස්ත වටිනාකම රුපියල් බිලියන 1.9 කි.

මේ වසරේ මාර්තු 31 වැනිදා වනවිට උඩුපුස්සැල්ලාව ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමේ කොටස් හිමිකාරීත්වයෙන් 90%ක ප්‍රතිශතයක් ජේම්ස් ෆින්ලේ ප්ලාන්ටේෂන්ස් හෝල්ඩිංග්ස් (57.78%), ජේම්ස් ෆින්ලේ ලිමිටඩ් (19.02%) එක්සත් රාජධානිය සහ ජේසී ට්‍රස්ට් සර්විසස් (පෞද්) සමාගම (13.20%) යන සමාගම් වෙත හිමිව තිබුණි.

එසේම එම දිනය වනවිට හපුගස්තැන්න ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමේ කොටස් හිමිකාරීත්වයෙන් 90%ක ප්‍රතිශතයක් ජේම්ස් ෆින්ලේ ප්ලාන්ටේෂන්ස් හෝල්ඩිංග්ස් (58.87%), ජේම්ස් ෆින්ලේ ලිමිටඩ් (21.06%) සහ ජේසී ට්‍රස්ට් සර්විසස් (පෞද්) සමාගම (10.07%) යන සමාගම් වෙත හිමිව තිබුණි.

Visits: 727