දෙදින නිල සංචාරය සඳහා චීන විදේශ අමාත්‍යවරයා ඊයේ (08දා) දිවයිනට

චීන විදේශ අමාත්‍ය වැන්ග් යි දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ රාත්‍රියේදී ශ්‍රී ලංකාව පැමිණියේය. ඒ අනුව නව වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයා බවටද චීන විදේශ අමාත්‍යවරයා පත්ව තිබේ.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි චීන විදේශ අමාත්‍යවරයා ප්‍රමුඛ නියෝජිත කණ්ඩායම පිළිගැනීම ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් සිදු කරන ලදි. එසේම ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයාද ඊට සම්බන්ධ විය.

මෙම සංචාරය චීනය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති වීමේ 65 වැනි සංවස්තරය සැමරීමේ උත්සවය නිමිති කරගනිමින් පැවැත්වෙන්නක් බවද චීන තානාපති කාර්යාලය මීට පෙර සඳහන් කර තිබුණි.

මේ අතර, කොළඹ වරාය නගරය ආශ්‍රිතව දැනට ඉදිකිරිම් බොහෝ දුරට අවසන්ව ඇති ඇවිදින මංතීරු කොටස අද දිනයේදී චීන විදේශ අමාත්‍යවරයා අතින් විවෘත වීමට බොහෝ දුරට ඉඩ ඇතැයිද වාර්තා වෙයි.

නව වසරේදී චීන විදේශ අමාත්‍යවරයා සිදුකරන පළමු විදේශ සංචාරය යටතේ අවසන් නැවතුම ලෙස ඔහු මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණියේය.

චීන විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණීමට පෙරාතුව අප්‍රිකානු මහාද්වීපයේ පිහිටි එරිත්‍රියාව, කෙන්යාව සහ කොමරෝස් යන රාජ්‍යයන් වෙත සංචාරය කළේය. එසේම ඊයේ පෙරවරුවේ (08 වැනිදා) ඔහු මාලදිවයින වෙත පැමිණි අතර එහිදීද දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා සහ එකඟතා වෙත අත්සන් තැබීම් සඳහාද සම්බන්ධ විය.

Visits: 90