ගනුදෙනු ඇරඹි පළමු දිනයේදීම කප්රුක කොටස් අගය 44.81%කින් ඉහළට

මෙරට ක්‍රියාත්මක අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කරන ප්‍රමුඛ පෙළේ සමාගමක් වන කප්රුක හෝල්ඩිංග්ස් ලිමිටඩ් සමාගම ඊයේ (ජනවාරි 07දා) දිනයේදී සිය සමාගමෙහි කොටස් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කිරිම සිදු විය.

එහිදී ආයෝජකයන් අතර කප්රුක කොටස් මිලදී ගැනීම සඳහා ඉහළ උනන්දුවක් පැවැති බව වාර්තා පවසයි. ඒ අනුව ඊයේ ගනුදෙනු නිමාවේදී කප්රුක හෝල්ඩිංග්ස් ලිමිටඩ් සමාගමේ කොටසක අගය රුපියල් 22.30ක් ලෙස සටහන්විය. එය එහි ආරම්භක අගය වූ රුපියල් 15.40ට සාපේක්ෂව රුපියල් 6.90ක එනම් 44.81%ක වර්ධනයකි.

මෙහිදී දිනය තුළදී කප්රුක හෝල්ඩිංග්ස් ලිමිටඩ් කොටසක් සඳහා ලැබුණු අවම අගය ලෙස රුපියල් 21.00 සටහන්ව ඇති අතර උපරිම අගය ලෙස රුපියල් 24.40ක් සටහන්ව තිබේ.

මේ අතර පළමු ගනුදෙනු දිනයේදීම කප්රුක හෝල්ඩිංග්ස් ලිමිටඩ් සමාගමේ කොටස් 17,1728,329ක් ගනුදෙනු 7,059ක් හරහා හුවමාරුව සිදුව තිබේ.

ඒ අනුව දිනය තුළ සිදු කෙරුණු සමස්ත ගනුදෙනුවෙහි පිරිවැටුම රුපියල් මිලියන 390ක් (390,473,984.00ක්) ලෙස සටහන්ව ඇත.

ඊයේ දිනයේදී කප්රුක සමාගම KPHL–N–0000) කේතය යටතේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ඇරඹූ අතර, එහිදී කොළඹ කොටස් හුවමාරුවෙහි ප්‍රධාන පුවරුවෙහි ‘Retailing’ අංශය යටතේ එම ලැයිස්තුගත වීම සිදු විය.

සමාගම මගින් සිය මූලික මහජන කොටස් නිකුතුවේදී සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 32,826,000ක් නිකුත් කළ අතර, එය සමාගමේ සමස්ත කොටස් ප්‍රතිශතයෙන් 20%කි. මෙහිදී රුපියල් 15.40ක් බැගින් එක් කොටසක් මිල නියම කෙරී තිබුණි. එහිදීද එම මූලික මහජන කොටස් නිකුතුව සඳහා 5.8%ක අධි දායකත්වයක් හිමි විය.

Visits: 298