“ඉන්ධන ටැංකි ගිවිසුම ඓතිහාසික සහ අන්‍යෝන්‍යව ප්‍රතිලාභ සහිත අවස්ථාවක්” LIOC කළමනාකාර අධ්‍යක්ෂ

ත්‍රිකුණාමලයේ පිහිටි ඉන්ධන ටැංකි සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් එකඟතාව ඓතිහාසික සහ දෙපාර්ශ්වයටම අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ හිමිවන අවස්ථාවක් බව ලංකාඉන්දියන් ඔයිල් (LIOC) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා පවසයි.

පසුගියදා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සමගින් ඇති කරගත් මෙම එකඟතාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කළමනාකාර අධ්‍යක්ෂවරයා මේ බව සඳහන් කර තිබේ.

“මෙය දෙරට වෙතම ඉතාමත් ඓතිහාසික මොහොතක්. මේ හරහා සියල්ලටන්ටම බොහෝ අවස්ථාවන් උදාකර දේවි. ඒ වගේම එය දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමටත් එය අවස්ථාවක් වේවි.” යනුවෙන් ඔහු මෙහිදී සඳහන් කර ඇත.

පසුගිය ජනවාරි 05 වැනිදා අත්සන් තැබුණු මෙම එකඟතාව යටතේ ත්‍රිකුණාමලයේ පිහිටි මෙම ඉන්ධන ටැංකි පරිශ්‍රයට අයත් ටැංකි සංවර්ධනය කිරිම සඳහා CPC සහ IOC යන සමාගම් අතර බෙදාගැනිම සිදු වූ අතර, ඒ සඳහා එම සමාගම් දෙකෙහිම හවුල්කාරීත්වයෙන් ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් නමින් නව සමාගමක් පිහිටුවා ගැනීමත් සිදු විය.

මෙම නව සමාගම යටතේ ත්‍රිකුණාමලය චයිනා බේ හි පිහිටි ඉහළ ටැංකි පරිශ්‍රයේ පිහිටි ඉන්ධන ටැංකි 61ක් සංවර්ධනය කර භාවිතයට ගැනීමට නියමිතව තිබේ. එහිදී නව සමාගමෙහි කොටස් හිමිකාරීත්වයෙන් 51%ක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හිමි අතර, 49%ක් ලංකාඅයිඕසී සමාගමටඅයත් වෙයි.

එසේම මෙම පරිශ්‍රයේ පිහිටි ඉතිරි ටැංකි 24ත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හිමි වූ අතර, චයිනා බේ පරිශ්‍රෙය් පිහිටි පහළ ටැංකි පද්ධතිය ලංකාඅයිඕසී සමාගම වෙත වසර 50ක කාලයක් සඳහා හිමිව තිබේ.

මෙලෙස ත්‍රිකුණාමලයේ පිහිටි ඉන්ධන ටැංකි සම්බන්ධයෙන් මෙවැනි අවසන් එකඟතාවකට පැමිනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු රජය දැක් වූ මැදිහත්වීම සම්බන්ධයෙන් තමන් ස්තූතිවන්ත වන බවත් ගුප්තා මහතා සඳහන් කර තිබේ.

මෙම නව එකඟතා අත්සන් තැබීමත් සමගින්ම 2003 වසරේදී මෙම ඉන්ධන ටැංකි පරිශ්‍රය සම්බන්ධයෙන් ලංකාඅයිඕසී සමාගම සහ ශ්‍රී ලංකා රජය අතර ඇති කරගෙන තිබූ එකඟතාව අහෝසිවීයාමද සිදුවිය.

දෙරට අතර මෙම නව එකඟතාවට පිවිසීම සඳහා වන සාකච්ඡා පුරා මාස 16ක් ක්‍රියාත්මක වූ බව බලශක්ති ඇමති උදය ගම්මමන්පිල මහතා පසුගියදා සඳහන් කළේය.

Visits: 376