“ප්ලාස්ටික් ප්‍රතිචක්‍රියකරණය ශක්තිමත් කිරීම තුළින් අපද්‍රව්‍ය වෙත වටිනාකමක් එක්කරමු” – සරෝජිනී ජයසේකර

වගකීම් විරහිතව පොලිතින් සහ ප්ලාස්ටික් බැහැර කිරීම හේතුවෙන් රට තුළ අර්බුධ රැසක් පැනනැගී ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ පිළිබඳ අධ්‍යක්ෂවරිය වන සරෝජිනී ජයසේකර මහත්මිය සඳහන් කරයි.

විශේෂයෙන්ම දැනට පවතින දත්ත අනුවද රටේ නාගරික ඝන අපද්‍රව්‍ය ප‍්‍රමාණයෙන් 5.9%කට වඩා පොලිතින් සහ ප්ලාස්ටික් අඩංගු වන අතර, එය දිනකට කිලෝග‍්‍රෑම් 400,000 ඉක්මවන බවත් ඇය පෙන්වා දෙයි.

එහිදී මූලිකවම රටේ ස්වභාවික සම්පත කොතරම් වැදගත්ද යන්න සලකා බැලීමේදී, අපගේ පාරිසරික සම්පත් ආරක්ෂා කිරීම හා ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ පිළිවෙත් වැඩිදියුණු කිරීමට අප උත්සාහ කළ යුතු බව ඉතා පැහැදිලි යැයිද ඇය ලිපියක් සම්පාදනය කරමින් සඳහන් කරයි.

වැදගත්ම දෙය නම්, ”භාවිතය අඩු කිරීම, නැවත භාවිතා කිරීම සහ ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීම’’ යන 3R සංකල්පය අනුගමනය කරමින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීම නිසි වගකීමෙන් යුතුව කළමනාකරණය කිරීමයි. ඒ සඳහා 2021-2030 ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ජාතික ක‍්‍රියාකාරී සැලැස්ම මඟින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය සඳහා ජාතික ප‍්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීම අපේ රට තැබූ වැදගත් පියවර කි. නිවැරදි ක‍්‍රමෝපායන් ගෙන් යුතු , ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණය මෙම ගැටලූව අවම කිරීම සඳහා ගත යුතු වැදගත් ක‍්‍රියාමාර්ගයයි.

ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණය සහ නැවත භාවිතය සම්බන්ධ ප‍්‍රයත්නයන් ශක්තිමත් කළ යුතුයි. එහිදී විශේෂයෙන්ම පොලිඑතීලීන් ටෙරෙෆ්තලේට් (PET) වැනි පහසුවෙන් ප‍්‍රතිචක‍්‍රීයකරණය කලහැකි ප්ලාස්ටික් පලමුව ඉලක්ක කරගත යුතුයි.

එවැනි උත්සාහයන් ධනාත්මක ආර්ථික ප‍්‍රතිලාභ ද ඇති කරයි. අනාගතයේ දී අනවශ්‍ය ආනයන අඩු කිරීම ශ‍්‍රී ලංකාවේ වඩාත්ම තීරණාත්මක ආර්ථික ප‍්‍රමුඛතාවයන්ගෙන් එකක් වනු ඇත. ප්ලාස්ටික් ආනයනය සම්බන්ධයෙන් කැපී පෙනෙන්නේ, ප‍්‍රතිචක‍්‍රීයකරණය ශක්තිමත් කිරීම තුළින් රටට ප්ලාස්ටික් ආනයනය විශාල ලෙස අඩු කර විදේශ විනිමය රට තුළම ඉතිරි කර ගත හැකිය.

PET ප්ලාස්ටික් ඉතා වටිනේය
ප්ලාස්ටික් බහුකාර්ය සහ කල් පවතින ද්‍රව්‍යක් වන අතර ඒවා දිරාපත් වීමට වසර ගණනාවක් ගත වේ. එබැවින් මේවා නිසි ලෙස බැහැර නොකිරීමෙන් පරිසරයට හා වන සතුන්ට හානි විය හැක. ක්ෂුද්‍ර ප්ලාස්ටික් වැනි ඇතැම් ප්ලාස්ටික් අංශු මඟින් ආහාර දුෂණය වන විට මිනිස් සෞඛ්‍යයට එය බෙහෙවින් අහිතකර ය.

එවැනි ගැටළු මඟහරවා ගැනීම සඳහා, අපි වගකීමෙන් ප්ලාස්ටික් භාවිතා කළ යුතු අතර, හැකි සෑම තැනකම එය නැවත භාවිතා කර ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ යුතුය. PET ප්ලාස්ටික් මේ සම්බන්ධයෙන් කැපී පෙනෙන්නේ ඒවා 100% ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි බැවිනි. මීට අමතරව, ඒවා ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීම සහ අගය එකතු කළ නව නිෂ්පාදන බවට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් අප රට සතුයග PET ප්ලාස්ටික් යනු බීම/වතුර බෝතල්, ආහාර ඇසුරුම් සහ අත් සනීපාරක්ෂක සහ හිසකෙස් තෙල් වැනි පුද්ගලික සත්කාර නිෂ්පාදන ඇතුළු බොහෝ දෑ නිෂ්පාදනය සඳහා භාවිතා කරන වඩාත් සුලභ ප්ලාස්ටික් වර්ගයකි.

ශ‍්‍රී ලංකාව තුළ, Eco Spindles (Private) Ltd වැනි සමාගම් මගින් PET බෝතල් ප‍්‍රතිචක‍්‍රීයකරණය කර ඇඟලූම් සඳහා නූල් ද බුරුසු සඳහා අවශ්‍ය කෙඳි ද නිෂ්පාදනය කරයි. එබැවින් දැනටමත් PET ප්ලාස්ටික් අපද්‍රව්‍ය රටට විදේශ විනිමය උපයා දීමට යොදා ගනී.

වර්තමානයේදී, සංඛ්‍යාලේඛනවලට අනුව, ශ‍්‍රී ලංකාවේ මාසික PET බෝතල් භාවිතය කිලෝග‍්‍රෑම් 1,250,000 ක් ලෙස ගණන් බලා ඇති අතර, ප‍්‍රතිචක‍්‍රීයකරණය කරනු ලබන්නේ ඉන් කිලෝග‍්‍රෑම් 250,000 ක් හෙවත් 20% ක් පමණි. PET බෝතල් ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීමේදී අප තවමත් ක‍්‍රියා කරන්නේ ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි අගයට වඩා බෙහෙවින් අඩු අගයක බව මෙයින් පෙන්නුම් කෙරේ.

අඛණ්ඩ වැඩිදියුණු කිරීම්
PET ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණය සැලකිය යුතු ලෙස වැඩිදියුණු කිරීම සඳහා අපි සංවිධානය විය යුතුය. එහිදී නියාමනය, නීති පිළිපැදීම අධීක්ෂණය, දැනුවත් කිරීම සහ නිෂ්පාදන සැලසුම් කිරීම ඇතුළත් වේ.

ශ‍්‍රී ලංකාව එක් වරක් පමණක් භාවිත ප්ලාස්ටික් ද්‍රව්‍ය කිහිපයක් තහනම් කිරීමට පියවර ගෙන තිබේ. 100% ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි PET ප්ලාස්ටික් අනෙකුත් ප්ලාස්ටික් වර්ග වලින් සැලකිය යුතු ලෙස වෙනස් වන අතර ඒවාට අගය එකතු කිරීම සහ ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීම පහසුවෙන් කළ හැක. ඒවා අගය එකතු කළ නොහැකි සහ ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ නොහැකි බැවින් මේවා වඩාත් හානිකර වේ. ඒ නිසා අපි අදාළ නීතිමය රාමුව තවදුරටත් ශක්තිමත් කළ යුතුයි. දැනට, අපි නිෂ්පාදන පශ්චාත් පරිභෝජන කළමනාකරණයට සහ බැහැර කිරීම සඳහා නිෂ්පාදකයින විසින් වගකිව යුතු පුළුල් වූ නිෂ්පාදක වගකීම (EPR) වැනි සංකල්ප හඳුන්වා දීමට කටයුතු කරමින් සිටිමු.

වර්තමානයේදී, ගෝලීය වශයෙන් ප‍්‍රමුඛ පෙළේ බීම වර්ග නිෂ්පාදකයින් ප‍්‍රතිචක‍්‍රීකරණය සඳහා ඔවුන්ගේ කැපවීම සහ නිසි ප‍්‍රතිචක‍්‍රීයකරණ පිළිවෙත් පිළිබඳව පාරිභෝගිකයින් දැනුවත් කිරීම සිදු කරයි. ශ‍්‍රී ලංකාවේ Coca-Cola වැනි සමාගම් ඔවුන්ගේ PET ප්ලාස්ටික් ඇසුරුම් ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීම සඳහා ස්වේච්ඡුාවෙන් වැඩසටහන් සහ ඵලදායී හවුල්කාරිත්වයන් ඇති කර ගනියි. එවැනි උත්සාහයන් ශක්තිමත් කළ යුතු අතර, ඒ සඳහා EPR තීරණාත්මක විසඳුමක් ලෙස සැලකිය යුතුය.

මෙම ක්ෂේත‍්‍රයේ ගෝලීය කි‍්‍රයාමාර්ගයන්ට අනුකූලව අපගේ කි‍්‍රයාමාර්ගද වෙනස් කළ යුතුය. නිදසුනක් වශයෙන්, ශ‍්‍රී ලංකාව ආහාර ඇසුරුම්වල අදාලව ප්ලාස්ටික් බෝතලයක් මඟින් නැවතත් ප්ලාස්ටික් බෝතලයක් සෑදීම සඳහා ප‍්‍රතිචක‍්‍රීයකරණය අනුමත නොකිරීම දැක්විය හැකිය. කෙසේ වෙතත්, මෙය එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) විසින් පවා අනුමත කරන ලද බොහෝ සංවර්ධිත රටවල පිළිගත් කි‍්‍රයාවලියකි.

භාවිතා කළ ආහාර ඇසුරුම් පාරිභෝගිකයින්ට හානිකර වන නිසා සෞඛ්‍ය ගැටළු පිළිබඳව සැලකිලිමත් වන අතරම අප අදාල රෙගුලාසිද හොදින් සලකා බැලිය යුතුය. සමහර විට වඩාත්ම ප‍්‍රායෝගික ක‍්‍රියාමාර්ගය වන්නේ මෙයට ප‍්‍රථමයෙන් ආහාර ශ්‍රේණියේ නොවන ඇසුරුම් (පිඟන් සෝදන දියර බෝතල් වැනි) සඳහා ඉඩ දී ප‍්‍රතිඵල නිරීක්ෂණය කිරීමයි.

මෙම සන්දර්භය තුළ, රෙගුලාසි පිළිපැදීම නිරීක්ෂණය කිරීම සඳහා අප ද පුළුල් යාන්ත‍්‍රණයක් අනුගමනය කළ යුතුය. හොඳම ප‍්‍රමිතීන් සහ රෙගුලාසි හඳුන්වා දුන්නද, අපි මේවා ක‍්‍රියාත්මක කිරීම සහතික කළ යුතුය. මේ වන විට මධ්‍යම පරිසර අධිකාරියේ (CEA) අපි දිවයින පුරා 270+ කට අධික කසළ එකතු කරන්නන් ගෙන් ලබා ගන්නා දත්ත අධ්‍යනය හරහා කසළ කොපමණ ප‍්‍රමාණයක් එකතු කරන්නේද යන්න තේරුම් ගැනීමට සහ නිරීක්ෂණය කිරීමට කටයුතු කරමින් සිටිමු.

මහජන සහයෝගීතාවය සහ නිෂ්පාදන සැලසුම් කිරීම
මහජනතාව දැනුවත් කිරීම, කැපවීම සහ ක‍්‍රියාකාරී සහයෝගීතාව ඉතා වැදගත් වේ. නිදසුනක් වශයෙන්, භූමිතෙල් වැනි ද්‍රව්‍ය ගබඩා කිරීම සඳහා PET බෝතල් බොහෝ විට භාවිතා කරන අතර පසුව ප‍්‍රතිචක‍්‍රීයකරණය සඳහා දෙනු ලැබේ. මෙම කාලය වන විට ඒවා අපවිත‍්‍ර වී ඇති අතර නැවත භාවිතා කළ නොහැක. මේ අනුව, අපි PET බෝතල් හොඳම තත්වයෙන් ආපසු ලබා දීමට පාරිභෝගිකයින් පෙළඹවිය යුතුය.

තවද, නිෂ්පාදන සැලසුම් කිරීම හරහා ද තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. නිදසුනක් ලෙස, යෝගට් කෝප්පවල ඇලූමිනියම් තීරු/පියන සම්පූර්ණයෙන්ම ගැලවී නොයන්නේ නම්, කෝප්පය ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ නොහැක. එය දිගු කාලීන වෑයමක් විය හැකි නමුත්, ඇසුරුම් කිරීම සඳහා දිරාපත් වන ස්වභාවික ද්‍රව්‍ය භාවිතයෙන් හෝ ඇසුරුම්වල ඉහළ ප‍්‍රතිචක‍්‍රීයකරණය හැකියාව සහතික කිරීම සඳහා සමාගම් විසින් පරිසර හිතකාමී නිෂ්පාදනය ලෙස ඒවා නිපදවිය යුතු යැයි අපි විශ්වාස කරන්නෙමු. කෙසේ වෙතත්, පරිසරයට හිතකාමී වීම උදෙසා පාරිභෝගිකයාගේ චින්තනයේ වෙනසක් ද අවශ්‍ය විය හැකිය.

PET ප්ලාස්ටික් වැනි පහසුවෙන් ලබාගත හැකි අපද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීයකරණය වැඩිදියුණු කිරීමට සහ ව්‍යාප්ත කිරීමට සාමූහික ප‍්‍රයත්න දැරීමෙන් විදේශ විනිමය ඉතිරි කර ගැනීම සහ පරිසරය සංරක්ෂණය කිරීම යන දෙඅංශයම සාක්ෂාත් කර ගැනීමට හැකි වනු ඇතැයි අපි විශ්වාස කරමු. ඉදිරියට යාමට නම්, දිගුකාලීන දැක්මක් සහ මුලපිරීම් අවශ්‍ය වුවද, එවැනි ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමට අපට රජයේ සහ පෞද්ගලික අංශයේ සහාය අවශ්‍ය වේ. මෙම තිරසාර විසඳුමේ කොටස්කරුවන් වීම ඉතා වැදගත් බැවින් වගකීම් සහගත පාරිභෝගිකයන් වන ලෙසත්, ඔබේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීමට හැකි මාර්ග හඳුනා ගන්නා ලෙසත් අපි සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

Visits: 267