අම්බානිගේ රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් ඩො.මි. 100කට නිව්යෝර්ක්හි හෝටලයක් මිලදී ගනී

ආසියාවේ ධනවතා ලෙස සැලකෙන ඉන්දියාවේ මුකේෂ් අම්බානිට අයත් රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් සමාගම ඇමෙරිකා එක්සත් ජනපදයේ මැන්හැටන් නුවර පිහිටි ‘මැන්ඩරීන් ඔරියන්ටල් නිව්යෝර්ක්’ හෝටලයේ පාලනය එක්සත් ජනපද ඩොලර් මිලියන 100කට ආසන්න මුදලක් ගෙවා හිමි කරගෙන ඇතැයි වාර්තා වෙයි.

ඊයේ දිනයේදී ඉන්දියානු කොටස් වෙළෙඳ පොළ වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් සමාගම මෙම මිලදී ගැනිම පිළිබඳව අනාවරණය කර තිබේ.

ඒ අනුව මෙහිදී මෙම මැන්ඩරීන් ඔරියන්ටල් නිව්යෝර්ක් හෝටලය අයත් මව් සමාගම ලෙස සැලකෙන කේමන් දූපත්හි පිහිටි කොලම්බස් සෙන්ටර් කෝපරේෂන් (කේමන්) නම් සමාගම වෙත ආසන්න වශයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 98.15ක මුදලක් ගෙවා මෙම අත්පත් කරගැනීම සිදු කරගත් බව රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් සමාගම  පවසයි.

රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් සමාගම යටතේ ක්‍රියාත්මක රිලයන්ස් ඉන්ඩස්ට්‍රියල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් හෝල්ඩිංග්ස් ලිමිටඩ් සමාගම මගින් මෙම මිලදී ගැනීම සිදු කර තිබේ. ඒ අනුව සිය පාරිභෝගික සහ ආගන්තු කසත්කාර ක්‍රියාකාරකම් සඳහා මෙම හෝටලයත් ඇතුළත් කරගන්නා බව රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් සමාගම පවසයි.

වාර්තා සඳහන් කරන ආකාරයට මෙම ගනුදෙනුව සිදුකළ කොලොම්බස් සෙන්ටර් කෝපරේෂන් (කේමන්) සමාගම එම හෝටලයේ  වක්‍ර හිමිකරුවා වන අතර, සමස්ත කොටස් අතරින් 73.37%ක ප්‍රතිශතයක් ඔවුන්ට හිමිය. එසේම මෙම ගනුදෙනුව ලබන මාර්තු මාසය පමණ වන විට අවසන් කිරීමත් දෙපාර්ශ්වයේ අරමුණ වී තිබේ.

මේ අතර ඉදිරියේදී හෝටලයේ ඉතිරි 26.63%ක කොටස් ප්‍රතිශතයත් රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් සමාගමේ තවත් පරිපාලිත සමාගමක් මගින් අත්පත් කරගනු ඇති බවත් වැඩිදුරටත් සඳහන් වෙයි.

Visits: 5070