SHL, LOLC සහ VONE දායකත්වයෙන් පිටපිට හත්වැනි දිනටත් ASPI ඉහළට

අද (ජනවාරි 06) දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ආරම්භයේ සිටම ලාභ ඉපැයීමේ අවස්ථාවක් දැකගත හැකි වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. කෙසේ වෙතත් පසුව වටිනාකම් ඉහළ සමාගම් කෙරෙහි වන ගැණුම්බරතාව ඉහළ යාම සිදු වී තිබේ.

එහිදී මූලිකවම ඉදිරියේදී ප්‍රකාශ වෙතැයි බලාපොරොත්තු තබා තිබෙන ලාභාංශ ගෙවීම් ඇතුළු කාරණා ආයෝජක විශ්වාසය වැඩිකිරීමට හේතු වී ඇතැයි එම සමාගම් සඳහන් කරයි. මේ අතර LOLC සමූහයේ මූල්‍ය සමාගම් දෙකක් ඒකාබද්ධ කිරීමේ යෝජනාවද LOFC හි ගනුදෙනු විශාල ප්‍රමාණයකින් සිදු විමට දායක වූ බවත් කොටස් තැරැව්කාර සමාගම්වල අදහස වී තිබේ.

ඒ අනුව අද දිනයේදී ඒකක 13,049.80ත් ඒකක 13,242.70ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 13,169.40ක් බවට පත්විය. එය ඊයේ (ජනවාරි 05) දිනයට සාපේක්ෂව ඒකක 92.49ක් එනම් +0.71%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී SHL (+25.8), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+16.9), වැලිබල් වන් පීඑල්සී VONE (+10.9), හේලීස් පීඑල්සී HAYL (+10.4), එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+10.4), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-22.7), සෙංකඩගල ෆිනෑන්ස් පීඑල්සී SFCL (-19.3), එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (-10.6), ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (-3.7), ජෝන්කීල්ස් හොටෙල්ස් පීඑල්සී KHL (-2.6) යනාදී සමාගම්ය.

පෙර සිදුකළ සාකච්ඡාවලට අනුව එල්වීඑල් එනර්ජි ෆන්ඩ් පීඑල්සී, වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සහ බ්‍රවුන්ස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී යන සමාගම් තුළ සිදු වූ ගනුදෙනු සමස්ත පිරිවැටුමෙන් 1.2%ක දායකත්වයක් එල්ල කර තිබේ.  

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 125ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 99ක මිල ගණන් පහළ ගොස් ඇත.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 4,515.09ක අගයක් ගත් අතර, එය ඊයේ (ජනවාරි 05) ‍ට සාපේක්ෂව ඒකක 34.94ක එනම් +0.78%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 9.46ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (ජනවාරි 05) වාර්තා කළ රුපියල් බිලියන 15.6ට  සාපේක්ෂව 39% ක ඉහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කර්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 5.91ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 7.72%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 90.12ක් ලෙස සටහන් විය. එසේම දිනය තුළ සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 201.81ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 11.69 කි. ඒ අනුව වසර ආරම්භයේ සිට මේ දක්වා ගලා ආ විදේශ ආයෝජනවල වටිනාකම රුපියල් බිලියන 0.67කි.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය හේලිස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන  20.7කි. එසේම විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 46.14ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 2,442ක් සඳහා විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 26%කි. එසේම ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය සහ ප්‍රාග්ධන භාණ්ඩ සමාගම් දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 2,276ක සහ රුපියල් මිලියන 2,166ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 168