බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් ICONIC Trust හරහා සියෙරාහි ආයෝජනයන් පුළුල් කරයි

LOLC සමූහයෙහි ආයෝජන හස්තය වන බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම සියෙරා හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම සහ සියෙරා කන්ස්ට්‍රක්ෂන් ලිමිටඩ් සමාගම තුළ තිබූ සිය කොටස් 20%ක් බැගින් තිබූ කොටස් හිමිකාරීත්වය අලෙවි කර ඇතැයි පවසයි.

මෙහිදී රුපියල් බිලියන 3.27ක (3,276,427,405.09ක) මුදලකට මෙම අලෙවි කිරීම සිදුව තිබේ.

ඊයේ (05දා) දිනයේදී බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම මගින් ලිපියක් හරහා කොළඹ කොටස් හුවමාරුව වෙත මේ පිළිබඳව දැනුම් දී තිබේ.

කෙසේ වෙතත් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම මෙලෙස සියෙරා කන්ස්ට්‍රක්ෂන්ස් සහ සියෙරා හෝල්ඩිංග්ස් හි කොටස් හිමිකාරීත්වය අලෙවි කර ලැබුණූ මුදලින් සියෙරා සමූහයේ තවත් සමාගම් කිහිපයකම ආයෝජනය කර ඇතැයිද මෙහිදී අනාවරණය කරයි.

ඒ අනුව බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් වෙත අයත් පරිපාලිත සමාගමක් වන ICONIC TRUST (පෞද්) සමාගම හරහා මෙම ආයෝජනයන් සිදු කෙරී තිබේ.

එහිදී සන්සුන් බොටික් (එලිෆන්ට් කොරිඩෝර්) හි 88.46%ක කොටස් ප්‍රතිශතයක් කොටසක් රුපියල් 8.10ක් බැගින් මිලදී ගෙන ඇති අතර, සමස්ත ගනුදෙනුවේ වටිනාකම රුපියල් 405,905,123කි.

එසේම සියෙරා ඩිවලොප්මන්ට් ලිමිටඩ් (සියෙරා සමාගම් ගොඩනැගිල්ලේ සමස්ත හිමිකාරීත්වය) රුපියල් 701,563,407කට මිලදී ගෙන තිබේ. එහිදී සාමාන්‍ය ඡන්ද හිමි කොටසක් රුපියල් 24.73ක් බැගින් මිලදී ගැනීම සිදුව ඇත.

මේ අතර සියෙරා රෙඩි මික්ස් සමාගමෙහි 85%ක කොටස් ප්‍රතිශතයක් 375,000,000ක මුදලකට මිලදී ගැනීමක්ද මෙහිදී සිදුව තිබේ.

සියෙරා පයිලින්ග් සමාගමේ 100%ක කොටස් ප්‍රතිශතයක් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම මගින් මිලදී ගෙන ඇත්තේ රුපියල් 200,000,000ක වටිනාකමකටයි.

මීට අමතරව සියෙරා කේබල්ස් පීඑල්සී සමාගමේ 29.50%ක කොටස් ප්‍රතිශතයක් (කොටසක් රුපියල් 11.30ක් බැගින්) මිලදී ගෙන ඇත්තේ රුපියල් බිලියන 1.79ක (1,791,797,687.10ක) මිලකටයි.

එසේම ඇග්ස්ටාර් පීඑල්සී සමාගමේ 43.75%ක සාමාන්‍ය ඡන්ද හිමි කොටස් ප්‍රතිශතයක් කොටසක් රුපියල් 8කටත්, නිෂ්ඡන්ද කොටස් 66.66%ක ප්‍රතිශතයක් රුපියල් 4.00ක මුදලකටත් මිලදී ගෙන ඇති අතර, එම ගනුදෙනුවේ වටිනාකම රුපියල් බිලියන 1.12 ක් (1,122,910,080කි).

Visits: 2121