සියලු කොටස් මිල දර්ශකය ඒකක 13,000 ඉක්මවයි, රුපියල් බිලියන 15ක පිරිවැටුමක්

අද (ජනවාරි 05) දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ආරම්භයේ සිටම ඉතාමත් සාර්ථක ගැනුම්බරතාවකින් ක්‍රියාත්මක වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී මූලිකවම LOLC සමූහයේ සමාගම් වෙත පැවැති ආකර්ෂණය ඊට හේතුව වී තිබේ. පිරිවැටුමද වාර්තාගත ලෙස රුපියල් බිලියන 15ක් බවට පත්විය. ඊයේ දිනයට සාපේක්ෂව විදේශ ආයෝජන ගලාඒම් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව අද දිනයේදී ඒකක 12,799.10ත් ඒකක 13,255.41ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 13,076.91ක් බවට පත්විය. එය ඊයේ (ජනවාරි 04) දිනයට සාපේක්ෂව ඒකක 276.37ක් එනම් +2.16%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+162.7), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+62.1), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (+44.8), බ්‍රවුන්ස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී BRWN (+10.5), හේලීස් පීඑල්සී HAYL (+9.2), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-17.1), එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (-16.4), සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී SHL (-7.7), ඕවර්සීස් රියැලිටි (සිලෝන්) පීඑල්සී OSEA (-5.3), සියෙරා කේබල්ස් පීඑල්සී SIRA (-4.2) යනාදී සමාගම්ය.

පෙර දිනයේ සිදුකළ සාකච්ඡාවලට අනුව ජෝන්කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී, ටීජේලංකා පීඑල්සී සහ සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී යන සමාගම් තුළ සිදු වූ ගනුදෙනු සමස්ත පිරිවැටුමෙන් 0.8%ක දායකත්වයක් එල්ල කර තිබේ.  

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 124ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 113ක මිල ගණන් පහළ ගොස් ඇත.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 4,480.15ක අගයක් ගත් අතර, එය ඊයේ (ජනවාරි 04) ‍ට සාපේක්ෂව ඒකක 103.1ක එනම් +2.36%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 15.6ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (ජනවාරි 04) වාර්තා කළ රුපියල් බිලියන 10.8ට  සාපේක්ෂව 44% ක ඉහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම මිලදී ගන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 5.87ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 6.96%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 295ක් ලෙස සටහන් විය. එසේම දිනය තුළ සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 274ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලා ඒම්හි වටිනාකම රුපියල් මිලියන 21 කි. ඒ අනුව වසර ආරම්භයේ සිට මේ දක්වා ගලා ආ විදේශ ආයෝජනවල වටිනාකම රුපියල් බිලියන 0.56කි.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන  89කි. එසේම විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 75.8ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 3,707ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 24%කි. එසේම ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය සහ විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 3,521ක සහ රුපියල් මිලියන 2,923ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 244