කප්රුක මූලික කොටස් නිකුතුවට පස් ගුණයකටත් වඩා වැඩි ඉල්ලුමක්!

2021 දෙසැම්බර් 22 දා විවෘත කළ ‘කප්රුක හෝල්ඩිංග්ස් ලිමිටඩ්’ හි මූලික කොටස් නිකුතුව ආරම්භයේදී ආයෝජකයන් ඉතා උනන්දුවෙන් කොටස් ලබා ගත් අතර විවෘත කර පැය කිහිපයක් ඇතුළත පස්ගුණයකට වැඩි දායකත්වයක් ලබා දෙමින්එ ම නිකුතුව එදිනම අවසන් වුණු බව එම සමාගම පවසයි.

ඉහළ ශුද්ධ වටිනාකමක් ඇති පුද්ගලයන්, ආයතන සහ සාමාන්‍ය කොටස් ආයෝජකයන් ඇතුළු පුළුල් පරාසයක ආයෝජකයන්ගේ උනන්දුව සහ අවධානය දිනා ගනිමින් කප්රුක හි මූලික කොටස් නිකුතුව, වසරේ වඩාත්ම උද්යෝගයෙන් අපේක්ෂා කළ සහ බලාපොරොත්තු වූ කොටස් නිකුතුවකි.

මෙහි රුපියල් බිලියන 2.9 ක වටිනා කොටස් මිලියන 192 සඳහා අයදුම්පත් 4,900කට අධික ලැබී ඇති අතර සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 32,826,000ක් පමණක් පිරිනැමේ. නිකුතුවෙන් 10%ක් ඒකක භාරවලට ද 40%ක් තනි සාමාන්‍ය ආයෝජකයන්ට සහ 50%ක් තනි මහා පරිමාණ ආයෝජකයන්ට පිරිනැමේ.

මූලික කොටස් නිකුතුවෙ හි ප්‍රතිඵලය පිළිබඳව සිය සතුට පළ කළ කප්රුක නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී දුලිත් හේරත් මහතා, ”අද කප්රුක ගමනේ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා. අපගේ වර්ධනයේ කතාවේ නව පරිච්ඡේදයක් ලියන මේ අවස්ථාවේ, අපගේ නව ආයෝජකයන් සහ පාර්ශ්වකරුවන්ගෙන් සමන්විත නව කප්රුක පවුල වෙත පිළිගැනීමට ලැබීම මට මහත් සතුටක් සහ ගෞරවයක්. අපගේ ව්‍යවසාය සහ ව්‍යාපාර ආකෘතිය කෙරෙහි විශ්වාසය තැබූ සියලුම ආයෝජකයන්ට හද පත්ලෙන් නැගෙන කෘතඥතාව පළ කරන අතරම, අපගේ සියලුම පාර්ශ්වකරුවන් වෙත කැපී පෙනෙන වටිනාකමක් ලබා දීම වෙනුවෙන් ඇති අපගේ කැපවීම නැවතත් තහවුරු කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා. මෙම මූලික කොටස් නිකුතුව දක්වා අප ගිය ගමනේදී වැදගත් ප්‍රශ්න කිහිපයක් මතු වූ අතර, එම ප්‍රශ්න සතුටුදායක ලෙස විසඳීමට හැකි වීම ගැන මම සහ මගේ කණ්ඩායම සතුටු වෙනවා. පැහැදිලිවම, සැබෑ ආයෝජකයන් මෙම කොටස් නිකුතුවෙන් පිරිනැමෙන වටිනාකම වහාම දුටුවා.”

කප්රුක යනු කොටස් වෙළෙඳපොලේ ලැයිස්තුගත කිරීම සඳහා අවශ්‍ය අනුකූලතා සෙවු සහ සැපිරූ පළමු විද්‍යුත් වාණිජ්‍ය ව්‍යාපාරය වන බැවින්, සමාගමේ මූලික කොටස් නිකුතුව සහ කොළඹ කොටස් වෙළෙඳපොලේ ලැයිස්තුගත කිරීම, සමාගමට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකික ආර්ථිකයේම ඓතිහාසික අවස්ථාවක් සනිටුහන් කරයි.

එහි මූලික කොටස් නිකුතුව හරහා කප්රුක හෝල්ඩිංග්ස් ලිමිටඩ් හි 20%ක කොටස්, කොටසක් රුපියල් 15.40 බැගින් මිලදී ගැනීමට ආයෝජකයන්ට අවස්ථාව සලසා දී තිබූ අතර, සමාගම අපේක්ෂා කළ රුපියල් මිලියන 505.5ක මුදල සාර්ථකව රැස් කර ගත්තේය.

මූලික කොටස් නිකුතුවෙහි අවසානය පිළිබඳව අදහස් දක්වමින්, නිකුතුවේ කළමනාකරුවන් වන ‘ඇක්විටි පාර්ට්නර්ස්’ හි කළමණාකාර අධ්‍යක්ෂ රේ අබේවර්ධන මහතා පැවසුවේ, “මෙම නිකුතුව සුවිශේෂී ලෙස ක්‍රියාත්මක වනු ඇති බවට අපට කිසිදු සැකයක් තිබ්බේ නැහැ. ඒ වගේම අය අපගේ අපේක්ෂාවන් ඉක්මවා ගොස් තිබෙනවා. පැහැදිලි වටිනාකමක් සහ තක්සේරුවක් සහිත සමාගමක් මහජනතාවට ඉදිරිපත් කිරීමට අපි කටයුතු කළා. තීක්ෂ්ණ බුද්ධිය ඇති ආයෝජකයන් එය වහාම තේරුම් ගත්තා. සමස්තයක් වශයෙන්, මෙම නිකුතුවට ලැබුණු කැමැත්ත සහ අවධානය ගැන අපි ඉතා සතුටු වෙනවා.

වත්මන් වර්ෂය සඳහා වාර්ෂික කොටසක ඉපැයීම මත පදනම් වූ මිල ඉපැයුම් අනුපාතය Amazon, Alibaba සහ eBay වැනි ගෝලීය සගයන් විසින් සපයනු ලබන ඒවාට අනුකූල හෝ ඊට වඩා හොඳ වටිනාකමක් ආයෝජකයන්ට ලබා දීමට කප්රුක හට ඉඩ ලබා දී තිබේ.

පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව 2021 ඔක්තෝම්බර් 31 දිනෙන් අවසන් වන 2021 මූල්‍ය වර්ෂයයේ පළමු මූල් මාස හත තුළ එහි මුල් පෙළ සේවා 100% වර්ධනයක් වාර්තා කරගෙන, කප්රුකෙහි ව්‍යාපාර ආකෘතියට ශක්තිමත් මූල්‍යමය දායකත්වයක් ලබා දී තිබේ. මෙම කාලපරිච්ඡේදය සඳහා පිරිවැටුම දළ වශයෙන් රුපියල් බිලියන එකක් වේ. වත්මන් වර්ෂය සඳහා රුපියල් බිලියන 1.5ක පිරිවැටුමක් පුරෝකථනය කර ඇති අතර සමාගම, එම පුරෝකථනය ඉක්මවීම උදෙසා කටයුතු කරයි. කප්රුක හි නව, නවීන තාක්ෂණය සහිත මධ්‍යස්ථානය 2022 පළමු කාර්තුවේදී අන්තර්ජාලයට පැමිණීමට නියමිත අතර, එය තවදුරටත් සමාගමේ වර්ධනයට මෙන්ම ඔවුන්ගේ සැපයුම් දාම සහ යටිතල පහසුකම් තහවුරු කිරීමට උපකාරී වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ විශාලතම දේශීය විද්‍යුත් වාණිජ්‍ය ව්‍යවසාය වන කප්රුක 2002 වසරේදී දුලිත් හේරත් විසින් ආරම්භ කෙරිණි. එතැන් සිට, එය මේ දක්වා කිසිදු බාහිර ආයෝජකයෙකු නොමැතිව රුපියල් බිලියන ගණනක ව්‍යවසායයක් දක්වා වර්ධනය වී තිබේ. කප්රුක මේ දක්වා වර්ධනය වීම එහි ප්‍රබල ව්‍යාපාරික ආකෘතියේ සුවිශේෂී බව පෙන්වයි. ශ්‍රී ලංකාවේ සිටින තම පවුලේ අයට සහ මිතුරන්ට තෑගි යැවීමට කප්රුක නිතිපතා භාවිතා කරන, ප්‍රධාන වශයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන මිලියන 1.1කට අධික විදේශගත ශ්‍රී ලාංකිකයන් සඳහා සමාගම සේවය සපයයි.

තවද, සමාගම Amazon, eBay, Etsy සහ Walmart වැනි ගෝලීය විද්‍යුත් වාණිජ්‍ය වේදිකාවලට ශ්‍රී ලාංකීය සන්නාම පිරිනමනු ලබන අතර Dilmah, Akbar, Link Samahan වැනි හොඳින් ස්ථාපිත ශ්‍රී ලාංකීය සන්නාම සඳහා බෙදාහරින්නා / විද්‍යුත් වාණිජ්‍ය වෙළෙඳ සමාගම වේ. කප්රුක යනු විදේශගත ශ්‍රී ලාංකිකයන්ට සහ අනෙකුත් ගෝලීය ගනුදෙනුකරුවන්ට සේවා සපයමින් ඇමෙරිකානු ඩොලර්වලින් ආදායමක් උපයන ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාණිජ්‍ය සමාගම් කිහිපයෙන් එකකි. සමාගමේ ප්‍රධාන කොළඹ පිහිටා ඇති අතර ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ඕස්ට්‍රේලියාවේ ද කාර්යාල පිහිටා තිබේ.

Visits: 193