HNB සහ Cord360.com සමඟ එක්ව අපනයනකරුවන්ට නව අවස්ථා පිරිනමයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව, e-commerce වේදිකාවක් වන Cord360.com සමඟ සහයෝගීතාවයෙන් විවිධ කටයුතු එක් තැනකින් සිදු කර ගත හැකි (one-stop-shop) විසඳුමක් හරහා ගෝලීය සැපයුම් දාමයන් සමඟ ඵලදායී ලෙස සම්බන්ධ වීමට ශ‍්‍රී ලංකාවේ අපනයනකරුවන්ට අමතර විසඳුමක් ඉදිරිපත් කර ඇතැයි පවසයි.

මෙම කාලෝචිත මුලපිරීම මගින් www.cord360.com හරහා මූල්‍ය, සැපයුම්, ඇසුරුම්කරණය සහ වෙළෙඳපල ප‍්‍රවේශය වැනි ප‍්‍රධාන ක්ෂේත‍්‍රවල අපනයනකරුවන්ගේ සහාය ලබා දීමට HNB හි බොහෝ හවුල්කරුවන් සම්බන්ධ කර ඇත.

එවැනි ක‍්‍රියාකාරකම්වලදී බහුතර අභියෝගවලට මුහුණ දෙන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට (SMEs) ප‍්‍රතිලාභ ලබා දෙමින් විශේෂයෙන්ම විදේශීය ගැනුම්කරුවන් සමඟ වෙළෙඳාම සම්බන්ධ කිරීමට සහ සාකච්ඡා කිරීමට අදාල ක‍්‍රියාවලිය මෙම වේදිකාව හරහා වඩාත් විධිමත් කරනු ඇත.

HNB ප‍්‍රධාන කාර්යාලයේ දී පැවති මෙම උත්සවය සඳහා වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප‍්‍රමුඛ අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ද මෙල්, HNB විධායක අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ඩිල්ෂාන් රොද්‍රිගෝ, HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, වාණිජ බැංකු කටයුතු, දමිත් පල්ලෙවත්ත, Cord360.com සභාපති ආචාර්ය ආසිරි ගුරුසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී විය.

මේ පිළිබඳව අදහස් දක්වමින් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ ”ගෝලීය සැපයුම් දාමයන් නිෂ්පාදන හා පරිභෝජනය බිඳ වැටී ඇති අවස්ථාවක, ශ‍්‍රී ලංකාවේ අපනයන අංශයට සහාය දැක්වීම සඳහා HNB විසින් දියත් කරන ලද මෙම ව්‍යාපෘතිය ප‍්‍රශංසනීයයි. අපනයනය වැඩිදියුණු කරමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය සහ පෞද්ගලික අංශය සහයෝගයෙන් කටයුතු කළ යුතුයි. අපනයනකරුවන් දිරිමත් කරන සහ අවශ්‍ය විදේශ ආදායම වැඩි කරන ව්‍යාපෘතියක් දියත් කිරීම පිළිබඳව මම HNB වෙත ස්තුතිය පුද කරනවා.” යනුවෙනි.

”අපනයනය කරන්නන්ට අපගේ පිරිනැමීම් ඉහළ නැංවීමට සහ මූල්‍යකරණයෙන් ඔබ්බට ගිය ක්ෂේත‍්‍ර සඳහා පුළුල් සහායක් ලබා දීමට HNB යන ගමනේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස මෙය හඳුන්වා දිය හැකියි. වසංගතය නිසා ඇති වූ පෙර නොවූ විරූ අස්ථාවරත්වය සහ බාධා කිරීම් හේතුවෙන් විශේෂයෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ට වෙළෙඳ පහසුකම් සඳහා සහාය අවශ්‍යයි. ක‍්‍රියාශීලී, වඩාත් පුළුල් ක‍්‍රියාමාර්ග ගැනීමෙන් HNB මෙම තත්වයට ප‍්‍රතිචාර දක්වා තිබෙනවා.” යනුවෙන් HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, වාණිජ බැංකු කටයුතු, දමිත් පල්ලෙවත්ත මහතා පැවසුවේය.

”Cord360.com දියත් කිරීම විදේශ ගැනුම්කරුවන් සමඟ සම්බන්ධතා ඇති කර ගැනීමේ ක‍්‍රියාවලිය ප‍්‍රජාතන්ත‍්‍රීකරණය කිරීමේ වැදගත් පියවරක් නියෝජනය කරන අතර විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන් සඳහා අන්තර්ජාල වෙළෙඳ සාකච්ඡා පැවැත්විය යුතුයි.” යනුවෙන් Cord360.com හි සභාපති ආචාර්ය ආසිරි ගුරුසිංහ මහතා පැවසුවේය. ”ව්‍යුහගත වේදිකාවක් online වෙළඳ සාකච්ඡා ඉතා දැරිය හැකි මිලකට ලබාදිය හැකි අතර Cord360.com හට විදේශීය ගැනුම්කරුවන් සමඟ සම්බන්ධතා ඇති කර ගැනීමේ පිරිවැය සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා වන වෙළඳ සාකච්ඡා යන පිරිවැය සැලකිය යුතු ලෙස අඩු කළ හැකියි.”

Cord360.com සමඟ ඇති හවුල්කාරීත්වය අපනයනකරුවන්ට වෙළෙඳපල ප‍්‍රවේශයට ඇති සියලූම සාම්ප‍්‍රදායික බාධක බිඳ දැමූ නව ඩිජිටල් මාවතක් විවර කරයි. අපනයන භාණ්ඩ ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් සමඟ සම්බන්ධ වීමට නිර්මාණය කළ ජාත්‍යන්තර මාර්ගගත B2B වේදිකාවක් ලෙස ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට අපනයනකරුවන්ට මේ තුළින් ඔවුන්ගේ වෙළෙඳ භාණ්ඩ පිළිබඳ විවිධ භාෂා 10 කින් වෙළෙඳ දැන්වීම් පළ කළ හැකි අතර ගෝලීය කලාප හයකට නිෂ්පාදන 40 කට වැඩි ප‍්‍රමාණයක් තැපැල් කළ හැකිය. Cord360.com සාමාන්‍ය වෙළඳ ප‍්‍රචාරණ ව්‍යාපාර හා සසඳන විට ආයෝජනයට වඩා හොඳ ප‍්‍රතිලාභයක් ලබා දෙයි. එබැවින් අපනයනකරුවන්ට ඔවුන්ගේ අත්‍යවශ්‍ය වියදම්වලින් සැලකිය යුතු මුදලක් ඉතිරි කර ගැනීමට ඉඩ සලසනු ඇත.

Visits: 114