Dipped Products රු. බිලියනයක ආයෝජනයකින් ක්‍රීඩා සහ යාන්ත්‍රික අත්වැසුම් නිෂ්පාදනයට

හේලිස් සමූහයට අයත් රබර් ආශ්‍රිත අත්වැසුම් නිෂ්පාදනයේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන Dipped Products PLC සමාගම DPL Premier Gloves නමින් සිය පූර්ණ හිමිකාරීත්වය සහිත නව පරිපාලිත සමාගමක් පිහිටුවීමට සූදානමින් සිටින බව පවසයි.

රුපියල් බිලියනයක ආයෝජනයකින් පිහිටුවෙන මෙම සමාගමේ කර්මාන්තශාලාව බියගම පිහිටි ආයෝජන මණ්ඩලයට අයත් ආයෝජන කලාපයේ ස්ථාපිත කරන බව සමාගම අනාවරණය කරයි.

මෙම හරහා රබර් අත්වැසුම් නිෂ්පාදනය කිරීම සැලසුම වී තිබේ. එහිදී විශේෂයෙන්ම ක්‍රීඩා සහ යාන්ත්‍රික කටයුතු සඳහා යොදා ගන්නා අත්වැසුම් මාදිලි නිෂ්පාදනය සිදු කෙරෙන බව සමාගම පවසයි.

අද වනවිට Dipped Products PLC සමාගම සහ එහි පරිපාලිත සමාගම් ඇතුළත් DPL සමූහය (DPL Group) මගින් ලොව පුරා රටවල් 70කට අධික සංඛ්‍යාවකට සිය අත්වැසුම් අපනයනය කරන බවත් සමාගම මෙහිදී සඳහන් කර සිටියි.

ඒ අනුව මෙම නිෂ්පාදන කළඹ පුළුල් කිරීම හරහා තවදුරටත් සමාගමේ වර්ධනයක් ඇති කරගැනීමේ උපායමාර්ගයේ කොටසක් ලෙස මෙලෙස ක්‍රීඩා හා යාන්ත්‍රික අත්වැසුම් නිෂ්පාදනය වෙත යොමුවන බවත් Dipped Products PLC සමාගම වැඩිදුරටත් පවසා සිටියි.

Visits: 724