SLIIT 2021 වර්ණ රාත්‍රිය උත්කර්ෂවත්ව පවත්වයි

2019 සහ 2020 වසර තුළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 220 දෙනෙකුගේ කැපවීම සහ වෙහෙස මහන්සිය හා ඔවුන්ගේ ජයග්‍රහණ අගය කරමින් SLIIT හි ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා ඒකකය විසින් 2021 වසර සඳහා වර්ණ රාත්‍රියක් පසුගියදා පවත්වා තිබේ.

සෞඛ්‍ය සහ පූර්ව ආරක්‍ෂිත හේතුන් මත මෙම උත්සවය සැසි දෙකකින් සංවිධානය කරනු ලැබිණි. එහි පළමු සැසිවාරය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සහභාගි වූ අතර දෙවන සැසිය සඳහා ICC Hall of Fame සාමාජිකාවක් වූ ශ්‍රී ලංකා ඔලිම්පික් සභාපතිනි ශ්‍රියානි කුලවංශ ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස සහභාගී විය.

මෙම වර්ණ ප්‍රධාන උත්සවයේදී SLIIT විසින් 2019 සහ 2020 වසර සඳහා ක්‍රීඩා කාණ්ඩ12 ක කැපී පෙනෙනදස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 220 දෙනෙකු සඳහා වර්ණ ප්‍රදානය කරන ලදී.

බැඩ්මින්ටන් ක්‍රීඩාවේදී දැක්වූ දස්කම් වෙනුවෙන් වසරේ විශිෂ්ඨතම ක්‍රීඩකයාට හිමි සම්මානය බුවනෙක ගුණතිලකට හිමි විය. ඔහු 2018 වසරේදී පැවති පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී 4 වැනි ස්ථානයට පත් වූ අතර ආසියානු ක්‍රීඩා උළෙලේ හොඳම 8 දෙනා අතරට තේරී පත්විය. 2019 වසරේදී ඔහු ආරක්‍ෂක විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය, NCPBA විවෘත බැඩ්මින්ටන් ශූරතාව සහ XLV ජාතික ක්‍රීඩා උළෙල සඳහා පිරිමි කේවලඅංශ ශූරයා සහ පිරිමි යුගලඅංශ ශූරයා ලෙස සම්මාන දිනා ගත්තේය.

පැසිපන්දු, නෙට්බෝල් සහ මලල ක්‍රීඩා සඳහා දැක්වූ දක්ෂතා වෙනුවෙන් වසරේ විශිෂ්ඨතම ක්‍රීඩිකාව ලෙස තරින්දි අලස් සම්මාන හිමි කරගනු ලැබුවාය.

ඇය SLIIT ක්‍රීඩා කවුන්සිලයේ සභාපති සහ SLIIT පැසිපන්දු කණ්ඩායමේ නායිකාව ද වේ. ඇයගේ නායකත්වය සමයේ Futsal සහ Tag Rugby වැනි නව ක්‍රීඩා දෙකක් හඳුන්වා දෙන ලදී. SLIIT කණ්ඩායම් අනෙකුත් විශ්ව විද්‍යාල සමඟද තරඟාවලි සඳහා මුහුණ දෙනු ලැබූ අතර ඉන් සාර්ථක තරඟ ජයග්‍රහණ අත්පත්කරගෙන ඇත.

SLIIT හි වසරේ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස ඔමාල් අලහකෝන් සම්මාන ලබාගත් අතර ඔහුගේ ක්‍රීඩා වූයේ පාපන්දු සහ Futsal ක්‍රීඩාවයි.ඔහුගේ ජයග්‍රහණ ලැයිස්තුවට 2017 වසරේ සිට 2019 වසර දක්වා SLIIT Futsal නායකත්වය දැරීම, 2018 වසරේ SLIIT ක්‍රීඩා කවුන්සිලයේ උප සභාපති තනතුර දැරීම සහ තරඟාවලි ශූරතා රැසක් දිනා ගැනීමට සමත් වීම හා Futsal කණ්ඩායමට සහාය ලබා දීම යන කාරණා ඇතුළත් විය.

Visits: 67