නව වසරේ CSE හි පළමු ගනුදෙනු දිනය අද – ගනුදෙනු කාලය අද සිට පැය 4ක් දක්වා ඉහළට

2022 වසර සඳහා කොළඹ කොටස් හුවමාරුවෙහි පළමු ගනුදෙනු දිනය අද (ජනවාරි 03) යෙදී තිබේ.

මේ අතර, වෙළෙඳ පොළ ගනුදෙනු කාලය අද දිනයේ සිට පැය 4ක් දක්වා ඉහළ නංවා තිබෙන බව එහි බලධාරීන් සඳහන් කරයි. ඒ අනුව අද පෙරවරු 10.30ට ඇරඹෙන ගනුදෙනු කාලය පස්වරු 2.30 දක්වා ක්‍රියාත්මක වෙයි.

COVID-19 වසංගතයේ බලපෑමෙන් 2020 වසරේ මාර්තු මාසයේදී වසා දැමූ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු එම වසරේ මැයි මාසයේදී නැවතත් ආරම්භ වූ අවස්ථාවේ සිට 2021 දෙසැම්බර් මාසය දක්වා එය සාමාන්‍ය වෙළෙඳපොළ ගනුදෙනු සඳහා පෙරවරු 11.00 සිට 2.30 දක්වා පැය 3.30ක කාලයක් සඳහා පමණක් ක්‍රියාත්මක විය.

ඒ අනුව අද (ජනවාරි 03) දින සිට කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු කාලය මිනිත්තු 30 කින් දීර්ඝ කර තිබේ.

මෙහිදී පූර්ව ගනුදෙනු සැසිය පෙරවරු 10.00 සිට පෙරවරු 10.30 දක්වා ක්‍රියාත්මක වන අතර පෙරවරු 10.30 ට විවෘත වෙන්දේසියෙන් පසු දෛනික සාමාන්‍ය ගනුදෙනු පෙරවරු 10.30 සිට පස්වරු 2.30 දක්වා සිදු වනු ඇතැයි කොළඹ කොටස් හුවමාරුව පවසයි.

කොළඹ කොටස් හුවමාරුවෙහි අවසන් ගනුදෙනු දිනයවූ 2021 දෙසැම්බර් 31 වැනිදා සියලු කොටස් මිල දර්ශකය ඒකක 12,226.01ක් ලෙස සටහන් විය. එය එතෙක් මෙතෙක් සියලු කොටස් මිල දර්ශකය පත් වූ ඉහළම අගය ලෙසද සැලකෙයි. එසේම S&P SL20 දර්ශකය ඒකක 4,233.25ක් විය.

මේ අතර වෙළෙඳ පොළ සමස්ත ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 5.5ක් ලෙස සටහන් විය. 2021 වසර තුළදී පිටතට ගලා ගිය සමස්ත විදේශ ආයෝජනවල වටිනාකම රුපියල් බිලියන 52.06ක් ලෙස සටහන්ව තිබේ.

Visits: 341