DFCC බැංකුවේ නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස තිමල් පෙරේරා මහතා පත්වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුවේ නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස තිමල් පෙරේරා මහතා පත්කර ඇතැයි එම බැංකුව නිවේදනය කරයි. මෙම පත්වීම 2022 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වනු ඇත.

2017 වසරේදී නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී ලෙස DFCC බැංකුව සමග එක්වූ තිමල් පෙරේරා මහතා, 2019 වසරේ සිට එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද කටයුතු කරයි. ඒ මහතා සතු පුළුල් දැනුම හා අත්දැකීම් සම්භාරය, මෙරට නවෝත්පාදනය හා තිරසාර බැංකුකරණය සම්බන්ධ ප්‍රමුඛයෙකු ලෙස DFCC බැංකුව සතු පිළිගැනීම තවදුරටත් තහවුරු කිරීමට උපකාරී වනු ඇත.

නවෝත්පාදනය හා නවීන තාක්ෂණය සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් දක්වන ප්‍රවීණ මූල්‍ය හා බැංකුකරණ වෘත්තිකයෙකු වන තිමල් පෙරේරා මහතා, දශක දෙකකට අධික කාලයක් තුළ HSBC සමූහය, කටාර් රාජ්‍යයේ කොමර්ෂල් බැංකුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බාර්ක්ලේස් බැංකුව, සහ හැටන් නැෂනල් බැංකුව යන ආයතන වල සේවය කර ඇති අතර, HNB Assurance PLC, HNB General Insurance Limited සහ HNB Finance Limited යන සමාගම් වල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයෙකු වන තිමල් පෙරේරා මහතා එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සුදුසුකම්ද සපුරා ඇත. Synapsys Limited, Acuity Partners Limited, Acuity Stock Brokers (Pvt) Limited සහ Guardian Acuity Asset Management Limited යන ආයතන වල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කරන ඒ මහතා, Acuity සමූහ ව්‍යාපාරයේ විගණන කමිටුවේ සභාපතිවරයාද වේ.

තිමල් පෙරේරා මහතා සතු මෙම විශේෂඥ දැනුම සහ අත්දැකීම් සම්භාරය, DFCC බැංකුව මෙරට වඩාත්ම පාරිභෝගික කේන්ද්‍රීය හා ඩිජිටල්කරණය වූ බැංකුවක් බවට පත්කිරීමේ උත්සාහය සාර්ථක කරගැනීම සඳහා අතිශයින් ප්‍රයෝජනවත් වනු ඇත.

ඒ මහතාගේ නායකත්වය යටතේ, තිරසාර හා නිර්මාණශීලී වාණිජ බැංකුකරණයේ නියමුවා ලෙස තමන් සතු පිළිගැනීම තවදුරටත් තහවුරු කරගනිමින්, සියලුම දෙනා වෙනුවෙන් වඩාත් ශක්තිමත් හා තිරසාර අනාගතයක් නිර්මාණය කිරීමේ මෙහෙවර වෙනුවෙන් අඛණ්ඩව කැපවීම DFCC බැංකුවේ අපේක්ෂාව වී තිබේ.

Visits: 111