ලොව ධනවත්ම 10 දෙනා 2021 දී සිය වත්කමට ඩො. බිලියන 402ක් එකතු කරගෙන

බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට අනුව සිය වත්කම එක්සත් ජනපද ඩොලර් බිලියන 100කට වැඩි ලොව පළමු ධනවතුන් 10 දෙනා ගෙවුණු 2021 වසරේදී සිය වත්කම් වෙත තවත් අලුතින් එක්සත් ජනපද ඩොලර් බිලියන 402.17ක මුදලක් එකතු කරගැනීමට සමත්ව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

පසුගිය දෙසැම්බර් 29 වැනිදා වන විට මෙම ධනවතුන් සතු ආසන්නතම වත්කම් අනුව ගලපමින් මෙම කරුණු ඉදිරිපත්ව තිබේ.

ඒ අතරින් මුල් තැන පසුවන්නේ Tesla සමාගෙම් ප්‍රධාන විධායක නිලධාරීවරයා වන 2021 වසරේදී ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වූ එලෝන් මස්ක්ය. ගෙවුණු වසරේදී ඔහු සිය වත්කම වෙත අලුතින් රැස් කරගත් මුදල එක්සත් ජනපද ඩොලර් බිලියන 121කි. ඒ අනුව 2021 දෙසැම්බර් 29 වැනිදා වනවිට  ඔහුගේ සමස්ත වත්කම එක්සත් ජනපද ඩොලර් බිලියන 277ක් වී තිබුණි.

මක්ස් මෙම වත්කම් රැස් කරගැනීමේදී කිසිදු ආකාරයක වැටුප් හෝ ප්‍රසාද දීමනා හිමිකරගැනීමක් හරහා නොව සම්පූර්ණයෙන්ම සිය සමාගම්හි කොටස් හිමිකාරීත්වය හරහා එම වත්කම් හිමි කරගැනිමට සමත්ව තිබේ. ඒ අතරින්ද Tesla සමාගමේ කොටස් වටිනාකම් මේ වසරේදී සීඝ්‍ර  ලෙස ඉහළ යාම ඊට හේතුව විය.

කෙසේ වෙතත් වාර්තා සඳහන් කරන ආකාරයට ගෙවුණු 2021 වසරේදී ඔහු විසින් එක්සත් ජනපද රජය වෙත ගෙවිය යුතුව තිබූ ඩොලර් බිලියන 11කට අධික බදු සඳහා ඔහු තමන් සතුව තිබූ තවත් Tesla කොටස් විකිණිමක්ද සිදු කර තිබුණ.

ලොව දෙවැනි ධනවතා වන ඇමසෝන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බෙසොස් වෙත ගෙවුණු වසරේදී රැස් කරගැනීමට හැකියාව ලැබී ඇත්තේ ඩොලර් බිලියන 5කි. ඒ අනුව දෙසැම්බර් 29 වැනිදා වන විට ඔහුගේ වත්කම එක්සත් ජනපද ඩොලර් බිලියන 195ක් බවට පත්ව තිබුණි.

ලොව තෙවැනි ධනවතා වන, සුප්‍රසිද්ධ LVMH සුඛෝපභෝගී භාණ්ඩ සන්නාමයේ ප්‍රධාන විධායක නිලධාරී බර්නාඩ් ආර්නෝල්ට් 2021 වසරේදී සිය වත්කම වෙත ඩොලර් බිලියන 61ක මුදලක් එක් කරගෙන තිබේ. ඒ අනුව 2021 දෙසැම්බර් 29 වැනිදා වනවිට ඔහුගේ වත්කම ඩොලර් බිලියන 176ක් දක්වා ඉහළ නැග ඇත.

ලොව සිව්වැනි ධනවතා වන මයික්‍රොසොෆ්ට් සමාගමේ නිර්මාතෘ බිල් ගේට්ස් ගෙවුණු වසරේදී සිය වත්කම වෙත ඩොලර් බිලියන 7ක් එක් කරගෙන තිබේ. ඒ අනුව දෙසැම්බර් 29 වැනිදා වනවිට ඔහුගේ සමස්ත වත්කම එක්සත් ජනපද ඩොලර් බිලියන 139ක් බවට පත්ව තිබේ. වසර 25ක විවාහ දිවිය නිමා කරමින් ඔහු සහ බිරිඳ වන මෙලින්ඩා ගේට්ස් පසුගිය වසරේදී දික්කසාද වූ අතර එහිදී ඔහුගේ වත්කම් බෙදීයාමක්ද සිදු විය.

ගූගල් සම නිර්මාතෘ ලැරී පේජ් 2021 වසරේ පස්වැනි ධනවතා ලෙස සටහන් වන අතර ගෙවුණු වසරේදී ඔහු රැස් කරගෙන ඇති වත්කම එක්සත් ජනපද ඩොලර් බිලියන 47කි. ඒ අනුව දෙසැම්බර් 29 වැනිදා වනවිට ඔහු සතු වත්කම එක්සත් ජනපද ඩොලර් බිලියන 130කි.

ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ගෙවුණු වසරේදී සිය වත්කම එක්සත් ජනපද ඩොලර් බිලියන 24කින් ඉහළ නංවා ගැනීමට සමත්ව ඇති අතර, දෙසැම්බර් 29 වැනිදාවනවිට ඔහුගේ වත්කම ඩොලර් බිලියන 128ක් ලෙස සටහන්ව තිබුණි. පසුගිය වසරේදී ඔහු සිය ෆේස්බුක් ඉන්කෝපරේෂන් සමාගම, මෙටා ඉන්කෝපරේෂන් ලෙස සන්නාම වෙනස් කිරිමකටද ලක් කළේය. ෆේස්බුක් සන්නාමය වෙත එල්ලවූ චෝදනා ඒ සඳහා හේතු විය.

ගූගල් සම නිර්මාතෘ සර්ජි බ්‍රින් ද ගෙවුණු වසරේදී සිය වත්කම වෙත ඩොලර් බිලියන 45ක මුදලක් එකතු කරගැනිමට සමත්ව ඇති අතර, ඒ හරහා ඔහුගේ සමස්ත වත්කම එක්සත් ජනපද ඩොලර් බිලියන 125ක් දක්වා ඉහළ නැග තිබේ.

හිටපු මයික්‍රොසොෆ්ට් ප්‍රධාන විධායක නිලධාරී ස්ටීව් බැල්මර් 2021 වසරේ ලොව ධනවතුන් අතර 08 වැනි ස්ථානයේ පසුවන අතර, ඔහු එම වසරේදී රැස් කරගෙන ඇති වත්කම එක්සත් ජනපද ඩොලර් බිලියන 41 කි. ඒ අනුව දෙසැම්බර් 29 වැනිදා වනවිට ඔහු සතු වත්කම එක්සත් ජනපද ඩොලර් බිලියන 122කි.

මෙම ධනවතුන්ගේ ලැයිස්තුවේ 09 වැනි ස්ථානයේ පසුවන ඔරකල් සමාගමේ නිර්මාතෘවරයා මෙන්ම සභාපතිවරයාද වන ලැරී එලිසන් 2021 වසරේදී ඩොලර් බිලියන 29ක් රැස් කරමින් 2021 දෙසැම්බර් 29 දා වනවිට සිය වත්කම ඩොලර් බිලියන 109ක් දක්වා වර්ධනය කරගැනීමට සමත්ව සිටියේය.

මෙම ධනවතුන්ගේ ලැයිස්තුවේ 10 වැනියා වන Berkshire Hathaway සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී වොරන් බෆට් මේ වසරේදී සිය වත්කම වෙත ඩොලර් බිලියන 21ක මුදලක් එකතු කරගෙන ඇති අතර ඒ හරහා ඔහු සිය වත්කම එක්සත් ජනපද ඩොලර් බිලියන 109ක් දක්වා ඉහළ නංවා තිගෙන තිබේ. 

ඒ අනුව එලෝන් මස්ක්ගේ සිට වොරන් බෆට් දක්වා වූ මෙම පළමු ධනවතුන් 10 දෙනා ගෙවුණු වසරේ දෙසැම්බර්  29 වැනිදා වනවිට රැස් කරගෙන ඇති සමස්ත වත්කම එක්සත් ජනපද ඩොලර් බිලියන 402.

Visits: 304