මෙතෙක් වාර්තා කළ ඉහළම ASPI අගයද සමගින් 2021 වසර සඳහා සාර්ථක නිමාවක්

අද (දෙසැම්බර් 31) දිනයේදීද කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ආරම්භයේදී යම් පසුබැසීමක් පෙන්නුම් කළත්, පසුව ධනාත්මක ස්වරූපයෙන් ඉහළ යෑමක් පෙන්නුම් කළ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී විශේෂයෙන්ම අද දිනයේදී ලැයිස්තුගත වූ LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ කොටස් වටිනාකම් ඉහළ යාම ඇතුළුව LOLC සමූහයේ සමාගම්හි කොටස් වටිනාකම් ඉහළ යාම ඊට හේතුව වී තිබේ.

මේ සමගින් 2021 වසර සඳහා කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ එතෙක් මෙතෙක් වාර්තා කළ ඉහළම අගයට පත් වීමට හැකි විය. එසේම දිනය පුරාම ආයෝජකයන් අතර ධනාත්මක තත්ත්වයක් පෙන්නුම් කළ බවත්, වටිනා සමාගම්වල කොටස් මිලදී ගැනීම පිළිබඳ වැඩි උනන්දුවක් පැවති බවත් කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 12,019.74ත් ඒකක 12,238.75ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 12,226.01ක් බවට පත්විය. එය ඊයේ (දෙසැම්බර් 30) දිනයට සාපේක්ෂව ඒකක 206.26ක් එනම් +1.72%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (+54.5), එල්ඕඑල්සී ජෙනරල් ඉන්ෂුවරන්ස් පීඑල්සී LGIL (+33.7), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+33.7), සෙංකඩගල ෆිනෑන්ස් පීඑල්සී SFCL (+30.2), එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+19.6), එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (-4.6), රිචර්ඩ් පීරිස් ඇන්ඩ්ක ම්පැනි පීඑල්සී RICH (-3.2), සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (-2.9), ශ්‍රී ලංකා ටෙලිකොම් SLTL (-2.8), ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (-1.8) යනාදී සමාගම්ය.

පෙර දිනයේ සිදුකළ සාකච්ඡාවලට අනුව එල්ඕඑල්සී ජෙනරල් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගම තුළ සිදු වූ ගනුදෙනුවක් සමස්ත පිරිවැටුමෙන් 0.2%ක දායකත්වයක් එල්ල කර තිබේ.  

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 132ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 90ක මිල ගණන් පහළ ගොස් ඇත.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 4,233.25ක අගයක් ගත් අතර, එය ඊයේ (දෙසැම්බර් 30) ‍ට සාපේක්ෂව ඒකක 23.26ක එනම් +0.55%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 8.24ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (දෙසැම්බර් 30) වාර්තා කළ රුපියල් බිලියන 6.46ට  සාපේක්ෂව 28% ක ඉහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම මිලදී ගන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 5.5ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 85.4%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 82.17ක් ලෙස සටහන් විය. එසේම දිනය තුළ සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 77.61ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලා ඒම්හි වටිනාකම රුපියල් මිලියන 4.56කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 52.60ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය සිංගර් ෆිනෑන්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 12.88කි. එසේම විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ආර්පිකෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 12.53ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 2,403ක් සඳහා රක්ෂණ සමාගම් අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 29%කි. එසේම ආහාර, පානවර්ග සහ දුම්කොළ සහ ප්‍රාග්ධන භාණ්ඩ අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 2‍,047ක සහ රුපියල් මිලියන 909ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 140