SME ව්‍යවසායකයින් අපනයන වෙළඳපොළට යොමුකිරීමට EDB වෙතින් වැඩපිළිවෙළක්

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) අපනයනයට සූදානම් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අපනයන වෙළඳපොළට යොමු කිරීමේ හැකියාවන් වර්ධනය කර ගැනීම උදෙසා සහය වීමේ අපනයන පුහුණු වැඩසටහනක් පසුගිය දෙසැම්බර් 10 වැනි දින ක්‍රියාත්මක කරන ලද බව පවසයි.

මෙම වැඩසටහන නව අපනයනකරුවන් බිහි කිරීමේ වැඩසටහන යටතේ ලියාපදිංචි වී ඇති තෝරාගත් ව්‍යවසායකයින් විසිපහක් (25)සඳහා අපනයන සංවර්ධන මණ්ඩල ප්‍රාදේශීය සංවර්ධන අංශය විසින් නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරයි.

වැඩසටහන අදියර තුනකින් සමන්විත වන අතර පළමු අදියරේ දී අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන්ගෙන් සමන්විත සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් මගින් සමාගම් ඇගයීමට ලක් කරන ලද අතර පුහුණු වැඩසටහන සඳහා වඩාත් සුදුසු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 25ක් තෝරා ගන්නා ලදී.

දෙවන අදියරේදී අපනයන අලෙවි සැලසුම් පිළිබඳ තනි හා කණ්ඩායම් පුහුණු සැසි පවත්වන ලදී. මෙම පුහුණු සැසි අපනයන අලෙවි සැලසුම් (EMP)පුහුණුකරුවන් ලෙස ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය (ITC) විසින් 2019/2020 දී පුහුණු කරන ලද තෝරාගත් අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරී කණ්ඩායමක් විසින් පවත්වන ලදී.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ඔවුන්ගේ අපනයන අලෙවිකරණ සැලසුම් සංවර්ධනය කිරීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් විසින් මඟ පෙන්වනු ලැබූ අතර අපනයන විගණනය, අපනයන වෙළඳපොලේ අවස්ථා ගවේෂණය කිරීම සහ අපනයන වෙළඳපොළට ඇතුළුවීමේ විකල්පයන් පිළිබඳ උපායමාර්ගික තීරණ ගැනීම සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කරන ලදී. පසුව එක් එක් සමාගම් විසින් අපනයන අලෙවිකරණ සැලසුම් සහ ක්‍රියාකාරී සැලසුම් සකස් කරන ලද අතර සැසි වාරය අවසානයේ අපනයන සංවර්ධන මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඔවුන්ගේ සැලසුම් වැඩිදියුණු කිරීම සඳහා ප්‍රතිපෝෂණ ලබා ගන්නා ලදී.

අවසාන අදියර ලෙස 2021 දෙසැම්බර් 10 වැනි දින අපනයන අළෙවිකරණ සැලසුම් ඉදිරිපත් කිරීමේ වැඩසටහනක් (COVID-19 සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව) මාර්ගගත ක්‍රමයට පැවැත්වූ අතර එහිදී තෝරාගත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 25 දෙනෙකු විසින් ඔවුන් විසින් තම මූල්‍ය අවශ්‍යතා පිළිබඳ විස්තර සහිතව අපනයන අලෙවිකරණ සැලසුම් ඉදිරිපත් කරන ලදි. මෙහිදී වෙළඳපොළ තොරතුරු ගවේෂණය, නිෂ්පාදන සංවර්ධනය, තත්ත්ව වැඩිදියුණු කිරීම, ධාරිතාව සංවර්ධනය, ඇසුරුම්කරණය, අලෙවිකරණය සහ වෙළඳ නාමකරණය වැනි ජාත්‍යන්තරව තම ව්‍යාපාරය ව්‍යාප්ත කිරීම කිරීමට අවශ්‍ය අංශ වැඩිදියුණු කර ගැනීම සඳහා මූලික අවධානය යොමු කරන ලදී.

මෙම අපනයන අලෙවිකරණ සැලසුම් ඇගයීමේ විනිශ්චය මණ්ඩලය නියෝජනය කරන ලද්දේ ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයේ ශ්‍රී ලංකා නියෝජිත ආචාර්ය දයාරත්න සිල්වා, කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ සහ මුල්‍ය පීඨයේ මහාචාර්ය බී. නිශාන්ත සහ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නුවන් ගමගේ යන මහත්වරුන් විසිනි. අපනයන සංවර්ධන මණ්ඩලය විසින් හොඳම අපනයන අලෙවිකරණ සැලසුම් ඉදිරිපත් කල සමාගම් මෙහිදී ඇගයීමට ලක් කරන ලදී.

ඒ අනුව යුනිකොර්න් ටයර් රිට්‍රෙඩ්ස් පුද්ගලික සමාගම, කැන්ද්‍රික් ටී බෙවෙරේජ් ලංකා පුද්ගලික සමාගම, සී/ස නේචර්ස් වෙල්නස් පුද්ගලික සමාගම, සී/ස සිලෝන් ධී ආයුර්වේද පුද්ගලික සමාගම, සී/ස හෙල්දි ෆූඩ්ස් ලංකා පුද්ගලික සමාගම, ගැමා කෙමිකල්ස්, සී/ස හෙලකොකෝ එනර්ජි පුද්ගලික සමාගම, කඩදාසි, ලිවන්, සී/ස නෙචර්වින්ස් පුද්ගලික සමාගම, සී/ස නැවිගාටා ෆූඩ්ස් පුද්ගලික සමාගම, ප්‍රාණය, සී/ස ටිල්මා ලංකා පුද්ගලික සමාගම, හොඳම අපනයන අලෙවිකරණ සැලැස්ම ඉදිරිපත් කර ඇගයීමට ලක් විය.

Visits: 90