JAT Holdings මෙරට දැව භාණ්ඩ කලාව සංවර්ධනයට NAITA සමඟ අත්වැල් බැඳ ගනී

ශ්‍රී ලංකාවේ දැව භාණ්ඩ ක්ෂේත්‍රයේ සංවර්ධනයට සහයෝගය දැක්වීම සඳහා JAT Holdings PLC ආයතනය විසින් ශ්‍රී ලංකවේ දැව පින්තාරු ශිල්පීන්ට අවශ්‍ය පුහුණුව ලබා දීම සහ ඔවුන්ගේ වෘත්තීය මට්ටම වැඩිදියුණු කිරීම වෙනුවෙන් “JAT පින්තාරු ශිල්පී අභිමන්” වැඩසටහන දියත් කර තිබේ.

මෙම වැඩසටහන ‘JAT සේයලැක් සත්කාරය’ වැඩසටහනේ තවත් අදියරක් ලෙස ක්‍රියාතමක වන අතර, එය නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශයේ, ජාතික ආධුනිකත්ව කාර්මික පුහුණු අධිකාරිය (NAITA) සමඟ එක් ව සිදු කරයි.
මෙම වැඩසටහන සඳහා පූර්ණ මූල්‍ය අනුග්‍රහය JAT Holdings PLC ආයතනය විසින් දරනු ලබන අතර, මේ හරහා දැව පින්තාරු ශිල්පීන් වෙත NVQ Level 3 සුදුසුකම ලබා දීමට අපේක්ෂා කරයි.

මේ වෙනුවෙන් JAT Holdings PLC සහ NAITA යන ආයතන අතර විශේෂ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම 2021 දෙසැම්බර් 10 වැනි දින JAT Holdings ශ්‍රවණාගාරයේ දී සිදු වූ අතර, ඒ වෙනුවෙන් පැවති විශේෂ උත්සවය නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ සහ නවෝත්පාදන ගරු රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ, JAT Holdings නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ ඊලියන් ගුණවර්ධන, NAITA සභාපති තරංග නලින් ගම්ලත් සහ JAT Holdings ප්‍රධාන විධායක නිලධාරී නිශාල් ප්‍රදිනාන්දු යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහි සමාරම්භය සනිටුහන් කරමින් දැව පින්තාරු ශිල්පින් 16 දෙනෙකු මෙම පුහුණුව සඳහා ලියාපදිංචි කිරීමද මෙම අවස්ථාවේදී සිදුවිය.

මෙම සුවිශේෂී වැඩසටහන පිළිබඳව JAT Holdings සමාගමේ විකුණුම් සහ තාක්ෂණික අධ්‍යක්ෂ වසන්ත ගුණරත්න මහතා අදහස් දැක්වුවේ මේ අයුරිණි. “ NAITA ආයතනය සමග අත්වැල් බැඳගනිමින් ‘JAT පින්තාරු ශිල්පී අභිමන්’ වැඩසටහන දියත් කිරීම මගින්, දැව ආශ්‍රිත නිර්මාණකරණයෙහි නිරතවන ශිල්පීන්ට ඉතා කෙටි කාලයක් තුළ NVQ Level 3 සුදුසුකම ලබා ගැනීමට හැකි ක්‍රම වේදයක් සකස් කිරීමට අපට හැකියාව ලැබිල තිබෙනවා. මෙම ක්‍රමවේදය මගින් ශ්‍රී ලංකාවේ දැව භාණ්ඩවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමට වගේ ම ඒ ආශ්‍රිත දැව පින්තාරු ශිල්පීන් නගා සිටුවීමටත්, ඔවුන්ගේ කුසලතා අනාවරණය කර ගනිමින් ඔවුන් වෙත ගෝලීය වශයෙන් පිළිගත් වෘත්තීයම සුදුසුකමක් ලබා දීමටත් අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් පවසා තිබේ.

මෙම වැඩසටහන අගයමින් ගරු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය, ”රටක් විදිහට වෘත්තීය නිපුණත්වයකින් යුතු අය වැඩි වශයෙන් නිර්මාණය කිරීම රටේ සංවර්ධන කාර්යයට බෙහෙවින් ඉවහල් වෙනවා. මෙහිදී JAT ආයතනය මූලිකත්වය ගනිමින් ක්‍රියාත්මක කරන ‘JAT පින්තාරු ශිල්පී අබිමන්’ වැඩසටහන වැදගත් වන්නේ, එයින් මෙම ක්ෂ්ත්‍රය අංශ ගනනාවකින් වර්ධනය කිරීමට සමත් වීම නිසයි.” යනුවෙන් සඳහන් කර තිබේ.

NAITA ආයතනයේ සභාපති තරංග ගම්ලත් මහතා ද මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින්, “නිවැරදි පුහුණුවක් ලබා දීම තුළින් දිගු ගමනක් යා හැකි, කුසලතා සම්පන්න,අති දක්ෂයින් රැසක් මේ රටේ සිටිනවා. අපගේ දේශීය ශිල්පීන් දිරිමත් කිරීමට සහ ඔවුන්ට සහයෝගය ලබා දීමට JAT Holdings වැනි කීර්තිමත් සමාගමක් සමඟ එක් වීමට ලැබීම පිළිබඳව අපි ඉතා සතුටට පත් වෙනවා.” යනුවෙන් පවසා ඇත.

වැඩසටහන පිළිබඳ උනන්දුවක් දක්වන ඕනෑම පුද්ගලයෙකුට 011 752 4150 යන ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ JAT Holdings ඇමතිය හැකි අතර, NAITA වෙබ් අඩවිය හරහා ද වැඩි විස්තර ලබා ගත හැකිය.

Visits: 97