පුවක්අරඹ සමූහ ව්‍යාපාරය ටයිල් නිෂ්පාදන කර්මාන්තශාලාවකට මුල්ගල් තබයි

මෙරට ප්‍රමුඛ පෙළේ සමාගමක් වන පුවක්අරඹ සමූහ ව්‍යාපාරය සිය සෙරමික් ටයිල් නිෂ්පාදන කර්මාන්තශාලාවට මුල් ගල් තැබීම ඊයේ දිනයේදී සිදු විය. බදුරලිය ප්‍රදේශයේ පිහිටි මෙම කර්මාන්තශාලාව මගින් ඉදිරි වසර කිහිපය ඇතුළතදී මෙරට අමුද්‍රව්‍ය ‍යොදා ගනිමින් ටයිල් නිෂ්පාදන කටයුතු ඇරඹීම අරමුණ වී තිබේ.

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී මෙම නව කර්මාන්තශාලාව සඳහා මුල්ගල් තැබීම සිදුවිය.

පුවක්අරඹ සමූහ ව්‍යපාරයේ සභාපති ආචාර්ය ලක්සිරි පීරිස් මහතාගේ අදහසකට අනුව මෙම කර්මාන්තශාලාව මෙරට පිහිටුවීම සිදුව තිබේ. TPS CERAMIC INDUSTRIES (PVT) LTD නමින් මෙම ව්‍යාපාරය නම් කර තිබේ.

මෙහිදී අදහස් දක්වා ඇති ඒ මහතා, “ශ්‍රී ලංකාවේ 4වන ටයිල් නිෂ්පාදකයා ලෙස අප ව්‍යාපාරය මෙම ක්ෂේත්‍රයට ඇතුළු වන අතර නවීන යන්ත්‍ර සූත්‍ර සහ යටිතල පහසුකම්වලින් සමන්විත වූ අංගසම්පූර්ණ කර්මාන්තශාලා පරිශ්‍රයකින් තව නොබෝ දිනකින් අප පාරිභෝගිකයින්ට “පුවක්අරඹ“ සන්නාමය ඔස්සේ ටයිල් නිෂ්පාදනයට හා බෙදාහැරීමට කටයුතු කරනු ඇත.” යනුවෙන් පවසා තිබේ.

මීට පෙර ටයිල් ආනයනයේ නිරත වූ පුවක් අරඹ සමූහ ව්‍යාපාරය ආසන්න කාලසීමාවේදී රට තුළ පැනවූ ආනයන සීමා හේතුවෙන් මෙලෙස දේශීයව ටයිල් නිෂ්පාදනයට පිවිස ඇතැයි සඳහන් වෙයි. මේ දක්වා සේවකයන් 160 දෙනෙකුගෙන් සමන්විත සේවක සංඛ්‍යාවක් එහි සේවය කර ඇත.

මෙම අවස්ථාවේදී අදහස් දක්වා ඇති කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා, “විදේශ රටවලින් ගෙනා ටයිල් අලෙවියේ ප්‍රමුඛයා වුණා වගේම පුවක්අරඹ සමූහ ව්‍යාපාරයට, ටයිල් ආනයනය නවතා ඇති මේ මොහොතේ ඔවුන් මෙරට ටයිල් වෙළඳපොළේ ප්‍රමුඛයා වීමේ හැකියාව පවතිනවා.” යනුවෙන් පවසා තිබේ.

“මීට වසරකට පමණ ඉහතදී මෙම පුවක්අරඹ සමූහ ව්‍යාපාරයේ අධිපතිතුමන් සහ එතුමන්ගේ පුතණුවන් මා හමුවීමට අමාත්‍යාංශයට පැමිණි අවස්ථාවේ ඔවුන්ගේ මුහුණුවල තිබුණේ එතරම් සතුටක් නොවේ. එතුමන්ලාගේ ටයිල් බෙදාහැරීමේ ජාලයේ සේවයේ නියුතු සේවකයන් එකසිය හැට ගණනකගේ සේවය තවදුරටත් පවත්වාගෙන යාම දුෂ්කර වීම ඒ කනස්සල්ලට හේතු වුණා. ඒ වගේම ටයිල් ආනයනය නතර කිරීමට රජය ගත් තීරණය දිගටම පවත්වාගෙන යයි ද, කියන දෙගිඩියාවත් එතුමන්ලා තුළ තිබුණා. ඒ වගේම එම ප්‍රතිපත්තිය දිගටම ක්‍රියාත්මක වනවා නම් ටයිල් පිටරටින් ගෙනල්ලා බෙදාහැරීම වෙනුවට මේ රට ඇතුළේ ටයිල් නිපදවීමට තමන්ගේ තිබෙන සූදානමත් ඔවුන් එහිදී ප්‍රකාශයට පත් කර සිටියා. ඊට අවශ්‍ය උනන්දුව සහ සහයෝගය අමාත්‍යාංශය විදියට අපි දුන්නා.”

නව ටයිල් නිෂ්පාදන කර්මාන්ත පරිශ්‍රය ඉදිවන භූමියේම දැනටමත් පුවක් අරඹ සමූහ ව්‍යාපාරය මගින් GI බට නිෂ්පාදන කර්මාන්තශාලාවක්ද පවත්වාගෙන යයි. එම බට PGC CEILTEK නමින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක් ලෙස අපනයනය සිදු කරයි.

Visits: 577