LOLC General Insurance Limited මූලික කොටස් නිකුතුවට අධිදායකත්වයක්

LOLC සමූහය යටතේ පූර්ණ අනුබද්ධිත පරිපාලිත සමාගමක් ලෙස ක්‍රියාත්මක LOLC General Insurance Limited සමාගම (LGIL) සමාගම අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි සිදු කළ මූලික මහජන කොටස් නිකුතුවට අධිදායකත්වයක් හිමිවූ බව එම සමාගම සඳහන් කරයි.

ඒ අනුව LOLC General Insurance Limited සමාගමේ මෙම මූලික කොටස් නිකුතුවට අදාළ සංස්ථා ප්‍රකාශයට අනුව අද (16දා) එනම් එම මූලික කොටස් නිකුතුව විවෘත කළ දිනයේදීම සවස 4.30ට ඒ සඳහා අයැදුම්පත්‍ර භාර ගැනීම නවත්වා දමන බවත් සමාගම සඳහන් කරයි.

මීට පෙර සැලසුම් කර තිබූ අන්දමට මෙම නිකුතුව ලබන දෙසැම්බර් 21 වැනිදා දක්වා විවෘත කර තැබීමට නියමිතව තිබුණි.

මෙම මූලික කොටස් නිකුතුව යටතේ සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 120,000,000ක් නිකුත් කෙරිණි. එහිදී කොටසක් රුපියල් 7.90ක් ලෙස සඳහන්ව තිබූ අතර, එම නිකුතුවේ මුළු වටිනාකම රුපියල් මිලියන 948ක් (948,000,000ක්) විය.

මෙම නිකුත් කරන කොටස් ප්‍රමාණය වෙත අධිදායකත්වයක් හිමිවිමත් සමගින්ම එම සමාගම මගින් නිකුත් කර ඇති සාමාන්‍ය ඡන්ද හිමි කොටස් අතරින් 10%ක ප්‍රතිශතයට සමාන බවත් සමාගම සිය සංස්ථා ප්‍රකාශයේ සඳහන් කර තිබුණි.

මෙම නිකුතුවේ ඒකාබද්ධ කළමනාකරුවන් ලෙස පී.ඩබ්ලිව්. කෝපරේට් සෙක්‍රටේරියල් (පෞද්) සමාගම සහ කැපිටල් ට්‍රස්ට් පාර්ට්නර්ස් (පෞද්) සමාගම කටයුතු කර තිබේ.

මෙම නිකුතුවෙන් අනතුරුව LOLC General Insurance Limited සමාගම ඉදිරියේදී කොළඹ කොටස් හුවමාරුවෙහි දිරි සවි පුවරුවෙහි ලැයිස්තුගත වෙනු ඇතැයි සඳහන් වෙයි.

Visits: 484