හොඳම වාර්ෂික වාර්තාවට හිමි රන් සම්මානය JKH වෙත

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරිවරුන්ගේ ආයතනය (CA Sri Lanka) මගින් සංවිධානය කරන ලද 56 වැනි වාර්ෂික වාර්තා සම්මාන ප්‍රදානය (56th Annual Report Awards of CA Sri Lanka) ඊයේ (දෙසැම්බර් 09) දිනයේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේදී පැවැත්වුණි.

මෙහිදී පසුගිය මූල්‍ය වර්ෂය වෙනුවෙන් මෙරට සමාගම්ඉදිරිපත් කර තිබූ වාර්ෂික මූල්‍ය වාර්තා මෙහිදී ඇගැයීමට ලක් විය.

ඒ අනුව වාර්ෂික මූල්‍ය වාර්තා අතරින් සියලුම අංගයන්ගේ සුවිශේෂීම වාර්ෂික වාර්තාවට හිමි සම්මානය දිනා ගැනීමට ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම (JKH) ඉදිරිපත් කර තිබූ වාර්ෂික වාර්තාව සමත් විය.

එසේම හේලීස් පීඑල්සී සහ සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී යන සමාගම් මගින් ඉදිරිපත් කර තිබූ වාර්ෂික වාර්තාවන් රිදී සම්මානය හිමි කරගෙන තිබේ.

මීට අමතරව එල්බී ෆිනෑන්ස් සහ කොමර්ෂල් බැංකුව ඉදිරිපත් කර තිබූ වාර්ෂික වාර්තාවන් මේ වසරේදී 56th Annual Report Awards of CA Sri Lanka හි ලෝකඩ සම්මානය දිනා ගැනීමට සමත්ව තිබේ.

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ජනාධිපති නීතීඥ විරාජ් දයාරත්න සහ CA Sri Lanka ආයතනයේ සභාපති මනිල් ජයසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සම්මාන ප්‍රදානය පැවැත් වී තිබේ.

එසේම කොළඹ කොටස් හුවමාරුවෙහි සභාපති දුමිත් ප්‍රනාන්දු,  CA Sri Lanka උප සභාපති සංජය බණ්ඩාර, වාර්ෂික වාර්තා සම්මාන කමිටුවේ සභාපති චමින්ද කුමාරසිරි, වාර්ෂික වාර්තා සම්මාන කමිටුවේ විකල්ප සභාපති චමිලා කුරේ, කොළඹ කොටස් හුවමාරුවෙහි ප්‍රධාන විධායක නිලධාරි රජීව බණ්ඩාරනායක සහ CA Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරිනී දුලානි ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ද මෙම අවස්ථාවට සහභාගි විය.

මෙහිදී සමාගම්, බහුජාතික සමාගම්හි සිට ලාභ නොලබන ආයතන, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ඇතුළු සමාගම් 70ක් මෙහිදී ඇගයිමට ලක්ව තිබෙන බව CA Sri Lanka ආයතනය පවසයි.

මෙහිදී අදාළ සමාගම් මගින් ඉදිරිපත් කරන වාර්ෂික වාර්තාවන්හි විනිවිදභාවය, වගකීම්සහගතබව, යහපත් පාලනය මෙන්ම සමාජ වගකීම්සහගතබව යනාදී කාරණා ප්‍රවර්ධනය වෙනුවෙන් මෙම සම්මාන ප්‍රදානයසිදු කරන බව එහි සංවිධායකයන් පවසයි.

Visits: 219