SLT-MOBITEL 2020 වාර්ෂික වාර්තාවට ජාත්‍යන්තර සම්මාන දෙකක්

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි 2020 වාර්ෂික වාර්තාවට ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සම්මානයක් හිමි වී ඇතැයි පවසයි. පසුගියදා පැවති ‘ARC International Awards 2021’ සම්මාන උළෙලේදී SLT-MOBITEL වෙත මෙම සම්මානය හිමි විය.

‘Mapping the Digital Highway’ යන තේමාව යටතේ SLT-MOBITEL ප්‍රකාශයට පත්කළ 2020 වාර්ෂික වාර්තාවට මෙම සම්මාන උළෙලේ දුරකථන සන්නිවේදන අංශයේ ‘අන්තර්ක්‍රියාකාරී වාර්ෂික වාර්තාව’ කාණ්ඩයේ රන් සම්මානය සහ ‘මූල්‍ය දත්ත’ කාණ්ඩයේ රිදී සම්මානය හිමි විය. මීට අමතරව ‘විශේෂඥ වාර්ෂික වාර්තා’ කාණ්ඩය යටතේ ‘වාර්ෂික වාර්තාවසහ ආයතනික ප්‍රජා සත්කාර තොරතුරු ඒකාබද්ධ කිරීම – සාම්ප්‍රදායික නොවන ආකෘතිය’ වෙනුවෙන් ගෞරවණීය සඳහනක්ද එම වාර්තාව වෙත හිමි විය.

SLT-MOBITEL හි ආයතනික ක්‍රමෝපාය, වටිනාකම් නිර්මාණය සහ ක්‍රියාකාරීත්වය මෙන්ම, 2020 ජනවාරි 01 දින සිට 2020 දෙසැම්බර් 30 දින දක්වා වූ මූල්‍ය වර්ෂය තුළ සමාගමේ ක්‍රියාකාරීත්වය මැනැවින් පැහැදිලි කරන, සවිස්තර හා පරිපූර්ණ වාර්තාවක් ලෙස SLT-MOBITEL 2020 වාර්ෂික වාර්තාව ප්‍රකාශයට පත්කර තිබිණි.

එමෙන්ම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අනුබද්ධ සමාගම් ඇතුළුව එහි සමස්ත මෙහෙයුම් ක්‍රියාවලිය පිළිබඳ සමාලෝචනයක් මෙම වාර්තාවෙහි දක්වා තිබේ. ප්‍රධාන මූල්‍ය පැතිමානයන් ආයතනික හා සමූහ මට්ටමින් සාකච්ඡා කර ඇති අතර, ඊට පෙර වසරේ සිට භාවිතයට ගන්නා ලද නව ආකෘතියට අනුකූලව මෙම වාර්තාව සැලසුම් කර ඇත.

සමාගමේ තිරසාර කළමනාකරණ කාර්ය සාධනය වඩාත් පහසුවෙන් අවබෝධ කරගත හැකි ආකාරයට ඉදිරිපත් කිරීම සඳහා, තිරසාර වාර්තාකරණය සම්බන්ධයෙන් ලොව පිළිගත් සම්මතයක් වන Global Reporting Initiative (GRI) මෙන්ම International IR Framework (IIRC) සහ Smart Integrated Reporting Methodology වැනි ජාත්‍යන්තර වාර්තාකරණ ක්‍රමවේදයන්ද භාවිතා කිරීමටSLT-MOBITEL වාර්ෂික වාර්තාවේ සම්පාදක මණ්ඩලය කටයුතු කර තිබේ.

මීට පෙර 2019 ARCසම්මාන උළෙලේදීද සම්මාන කිහිපයකින් පිදුම් ලැබීමට SLT-MOBITEL සමත් විය. මෙම ජයග්‍රහණ, සෑම විටම ආයතනික පාලනය සම්බන්ධ ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුගමනය කරමින්, ඉහළ මට්ටමේ විනිවිදභාවයකින් යුතුව තම පාර්ශ්වකරුවන් වෙත තොරතුරු අනාවරණය කිරීම සඳහා SLT-MOBITEL ගන්නා නිරන්තර උත්සාහයේ සාර්ථකත්වයට මනා සාක්ෂියකි.

“මෙවැනි ඉහළම තලයේ ජාත්‍යන්තර සම්මාන උළෙලකදී නැවත වරක් අපගේ වාර්ෂික වාර්තාව ඇගයීමට ලක්වීම අපට මහත් සතුටක්. මෙම වාර්තාව ප්‍රකාශයට පත්කිරීමේදී අපගේ අරමුණ වී තිබුණේ, අපගේ පැහැදිලි ක්‍රමෝපායික ගමන් මග, මූල්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳ දත්ත සහ අප විසින් ඉටුකරන ලද සමාජ සත්කාරයන් ඇතුළු අනෙකුත් තොරතුරු සවිස්තරව, විනිවිදභාවයෙන් යුතුව ඉදිරිපත් කිරීමයි. ආයෝජක සම්බන්ධතා සහ තොරතුරු අනාවරණය සම්බන්ධ අපගේ ආයතනික පාලන දර්ශනය සහ නිරන්තර උත්සාහයන්ට සමගාමීව මේ අරමුණ ඉටුකරගැනීමට අප කටයුතු කළා. එමෙන්ම, අප තෝරාගත් තේමාවට උචිත ආකාරයට මූල්‍ය වාර්තාවේ පිටකවරය සහ අන්තර්ගතය සැලසුම් කිරීමටත් අප පියවර ගත්තා.” SLT සමූහ ප්‍රධාන මූල්‍ය නිලධාරී සංජීව සමරනායක මහතා පැවසී ය.

Visits: 63