මෙරට ආර්ථිකය නගා සිටුවීමට බෝරා ප්‍රජාවගේ දායතත්වය අගමැති මහින්දගේ අගැයීමට

මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දින් සහෙබ්තුමා ඊයේ (11) දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වී තිබේ.

ලොව පුරා වෙසෙන මිලියනයකට ආසන්න බෝරා ප්‍රජාවට නායකත්වය දෙනු ලබන්නේ ආචාර්ය සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දින් සහෙබ්තුමාය.

තමන් ඇලුම් කරන රටක් ලෙස ශ්‍රී ලංකාවට නැවතවරක් පැමිණීමට ලැබීම සතුටට කරුණක් බව ආචාර්ය සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දින් සහෙබ්තුමා අග්‍රාමාත්‍යතුමා හමුවේ පවසා තිබේ.

මෙහිදී අදහස් දක්වා ඇති එතුමා, මුළු ලොවම කොවිඩ් වසංගතයෙන් පීඩා විඳින මෙවන් මොහොතක රටේ ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය ඉතා සාර්ථකව එන්නත්කරන ක්‍රියාවලිය ඉටුකිරීම අගය කරන බවද පවසා ඇත.

මේ අතර වෙළඳ ව්‍යාපාරික කටයුතු ඔස්සේ මෙරට ආර්ථිකය නගා සිටුවීමට බෝරා ප්‍රජාව විසින් ඉටුකරන කාර්යභාරය මෙහිදී අග්‍රාමාත්‍යතුමාගේ ඇගයීමට ලක්ව තිබේ.

බෝරා අධ්‍යාත්මික නායකතුමා ඇතුළු පිරිස සමඟ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙම අවස්ථාවට එක්ව සිට ඇත.

Visits: 67