ASPI ඉහළම අගයට, ප්‍රාග්ධනීකරණය රු.ට්‍රිලියන 5 ඉක්මවයි, විදෙස් ආයෝජන ගලායෑම් රු. බිලියන 50ක් වෙයි

අද (නොවැම්බර් 30) දිනයේදීද කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ඉතාමත් සාර්ථක මට්ටමින් ක්‍රියාත්මක වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී EXPO සහ LOLC සමූහයේ සමාගම්හි වටිනාකම් ඉහළ යාමත් සමගින්ම ASPI අගය එතෙක් මෙතෙක් වාර්තා කළ ඉහළම අගයට පත්විය. එසේම අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණයද පළමුවරට රුපියල් ට්‍රිලියන 5 සීමාවද ඉක්මවීය.

මේ අතර දිනය තුළදී ආයෝජකයන් වැඩි වශයෙන් ලාභ ඉපැයීමේ අවස්ථාවන් වෙත යොමුවුවද, දිනය පුරාම ඉතා හොඳ මිලදී ගැනීමේ උනන්දුවක්ද දැකගත හැකි වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එසේම මේ වසරේ ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසය නිමාවන විට වෙළෙඳ පොළෙන් පිටතට ගලා ගිය විදේශ ආයෝජනවල වටිනාකම අද රුපියල් බිලියන 50 ඉක්මවීය.

ඒ අනුව අද දිනයේදී ඒකක 11,201.82ත් ඒකක 11,476.62ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 11,440.53ක් බවට පත්විය. එය ඊයේ (නොවැම්බර් 29) දිනයට සාපේක්ෂව ඒකක 238.44ක් එනම් +2.13%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+150.03), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+58.3), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (+30.01), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (+19.32), එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (+14.12), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (-22.18), කොමර්ෂල් බැංකුව COMB (-6.3), හැටන් නැෂනල් බැංකුව HNB (-5.42), කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී CARG (-4.62), එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී  SPEN (-4.37) යනාදී සමාගම්ය.

පෙර සිදු කළ සාකච්ඡාවකට අනුව ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා පීඑල්සී, එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස්, සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සහ හේලීස් ෆැබ්රික් පීඑල්සී යන සමාගම් අතර සිදු වූ ගනුදෙනු දිනයේ පිරිවැටුමෙන් 4.0%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 105ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 95ක මිල ගණන් පහළ ගොස් ඇත.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,875.96ක අගයක් ගත් අතර, එය ඊයේ (නොවැම්බර් 29) ‍ට සාපේක්ෂව ඒකක 46.31ක එනම් +1.21%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 10.05ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (නොවැම්බර් 29) වාර්තා කළ රුපියල් බිලියන 8.97 ට  සාපේක්ෂව 12.1% ක ඉහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 5.11ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 72.45%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 383.6ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 797.86ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 414.26කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 50.28ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 274.09කි. එසේම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 348.08ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 2,283ක් සඳහා ආහාර, පානවර්ග සහ දුම්කොළ සමාගම් දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 23%කි. එසේම ප්‍රාග්ධන භාණ්ඩ සහ ප්‍රවාහන අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 2,083ක සහ රුපියල් මිලියන 1,889ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

.

Visits: 522