බ්ලොග් ලියන්නන් ඇතුළු රුසියානු මාධ්‍යවේදීන් කණ්ඩායමක් සතියක කාලයක් සඳහා දිවයිනට

රුසියානු සංචාරකයන් අතර වඩාත් ජනප්‍රිය බ්ලොග් ලියන්නන් දෙදෙනකුද ඇතුළුව මුල් පෙළේ මාධ්‍යවේදීන් පිරිසක් පසුගියදා මෙරට සංචාරයක් සඳහා පැමිණි බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.

එම ගුවන් සමාගමේ අනුග්‍රහයෙන් මෙරටට පැමිණ තිබෙන මෙම කණ්ඩායම හරහා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම පිළිබඳව රුසියානු සංචාරකයන් තුළ වඩාත් ප්‍රචලිත කිරීම අරමුණ වී තිබේ.

පසුගිය නොවැම්බර් 28 වැනිදා මෙම කණ්ඩායම මෙරටට පැමිණ ඇති අතර, දින 07ක කාලයක් ඔවුන් මෙරට තුළ රැඳී සිටින බවත්, විවිධ ස්ථාන වෙත සංචාරය කරන බවත් ශ්‍රී ලංකක් ගුවන් සමාගම සඳහන් කරයි.

ඒ අනුව මෙම මාධ්‍යවේදීන් පිරිස ශ්‍රී ලංකාවේ කඳුකරය, වනජීවීන්, සංස්කෘතිය මෙන්ම සුන්දර වෙරළ තීරයේද සංචාරය කිරීමට නියමිතව ඇතැයි සඳහන් වෙයි.

මෙම වැඩටහන යටතේ පසුගියදා ඉන්දියානු සංචාරක බ්ලොග් අඩවි ලියන්නන් ඇතුළු කණ්ඩායමක් මෙරටට කැඳවා ගෙන එමින් ඔවුන්ට මෙරට සංචාරක අත්දැකීම් ලබා දිමටද ශ්‍රී ලංකන් ගුවන් සමාගම කටයුතු යොදා තිබුණි. ඒ හරහා ඉන්දියානු සංචාරකයන් තුළ සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රචලිත කිරිම අරමුණ වූ බව සමාගම සඳහන් කර තිබේ.

Visits: 111