කොමර්ෂල් බැංකුව 2021 වසරේ හොඳම ආයතනික පුරවැසි තිරසාර සම්මානය දිනාගනී

ශ‍්‍රී ලංකාවේ ආයතනික අංශයේ ඉහළම තිරසාර සහ යහපත් ආයතනික පුරවැසි සම්මානය කොමර්ෂල් බැංකුවට ප‍්‍රදානය කරමින් ලංකා වාණිජ මණ්ඩලය විසින් කොමර්ෂල් බැංකුව 2021 වසරේ මෙරට ‘හොඳම ආයතනික පුරවැසියා’ ලෙස පසුගියදා නම් කරන ලද බව පවසයි.

මෙම ගෞරවණීය සම්මානය දිනාගනිමින් ආයතනික අංශයේ ඉහළම නිළධාරීන් සහභාගී වූ උත්කර්ශවත් සම්මාන රාත‍්‍රියකදී කොමර්ෂල් බැංකුව දේශීය ආයතනික අංශයේ තිරසාර ශුරයා ලෙසින් බුහුමනට පාත‍්‍ර විය. 

මීට අමතරව, කොමර්ෂල් බැංකුව මෙහිදී එක් එක් අංශ සඳහා ප‍්‍රදානය කරන ලද ‘තිරසාර ශුරතා’ සම්මාන යටතේ මූල්‍ය අංශයේ සම්මානය දිනාගත් අතර ‘අඛණ්ඩ කැපවීම සහ වර්ධනය’ යන ආංශික සම්මාන වලදී ‘Governance’ සහතිකයද දිනාගන්නා ලදී. එසේම, අළුතෙන් හඳුන්වාදුන් සම්මානයක් වූ ‘කොවිඞ්-19 වසංගතයේදී දරාගැනීමේ ක‍්‍රමවේද’ සඳහා බැංකුව දෙවන අනුශුරතාවය දිනාගත් අතර ශ‍්‍රී ලංකාවේ හොඳම ආයතනික පුරවැසියන් 10 දෙනා අතර සිටීම නිමිත්තෙන්ද සම්මානයක් දිනා ගත්තේය.    

‘තිරසාරත්වය අපගේ ආයතනික සංස්කෘතියේ පදනම වන අතර අපි විසින් සිදුකරන සියළුම දේ සඳහා එය අදාළ කර ගන්නවා,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ සමූහ ප‍්‍රධාන විධායක නිළධාරී, එස්. රෙන්ගනාදන් මහතා පැවසීය. ‘පරිසරයට කාබන් මුදාහැරීම සම්පූර්ණයෙන්ම තුලනය කළ ශ‍්‍රී ලංකාවේ පළමු බැංකුව වීම තුළින් මෙය විදහා දැක්වෙනවා. මේ නිසා, 2021 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම ආයතනික පුරවැසි තිරසාර සම්මානය දිනාගැනීම පිළිබඳව අප අතිශය සතුටට පත් වනවා. සියළුම මට්ටම්වල සේවකයින්ට තිරසාර යහ ක‍්‍රමවේදයන් වෙනුවෙන් පෙරටත් වඩා කැපවීමට මෙම සම්මානය ඉහළ දිරියක් ලබාදෙනවා.’ 

මූල්‍ය අංශයේ සම්මාන මගින් මෙරට වඩාත් සංවර්ධනාත්මක බැංකුකරණ ආයතනයක් ලෙස කොමර්ෂල් බැංකුවට තිබෙන තත්ත්වයත් වගකීම් සහගත ණයදීමේ ක‍්‍රමවේදයන් මගින් බැංකුව පරිසරය ආරක්ෂා කරගැනීමට සිදුකරන කැපවීමත් ඇගයීමට ලක්කර තිබේ. බැංකුවේ විවිධ ස්වරූපයේ හරිත වැඩසටහන් අතරට තිරසාර සහ හරිත මෙහෙයුම් කටයුතු සඳහා සහයවීම සඳහා ණය ලබාදීම, කඩදාසි රහිත බැංකුකරණ කටයුතු සඳහා පිවිසීම, තම මෙහෙයුම් කටයුතු වලදී බලශක්තිය, ජලය සහ අනිකුත් සම්පත් පරිභෝජනය කිරීමේ කාර්යක්ෂමතාවය නැංවීම, පරිසරය ආරක්ෂා කිරීමේ ප‍්‍රජා වැඩසටහන් සඳහා සහයෝගය ලබාදීම අයත් වේ. 

ව්‍යාපෘති සඳහා ණය ලබාදීමේදී සමාජ සහ පාරිසරික කරුණු සලකා බැලීම අනිවාර්ය කළ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම බැංකුවක් ලෙස කොමර්ෂල් බැංකුව කැපී පෙනෙන අතර හරිත මූල්‍යනය සමග අත්වැල් බැඳගත් ලංකාවේ පළමු බැංකුව වන්නේද කොමර්ෂල් බැංකුවයි. එසේම, බැංකුවේ ‘Flash’ ජංගම දුරකතන අයදුමට පාරිභෝගිකයා පරිසරයට සිදුකරන බලපෑම අවම කිරීම සඳහා මිණුම් ක‍්‍රමයක් හඳුන්වා දෙමින් ඩිජිටල් බැංකුකරණ කටයුතු විප්ලවීය මාවතකට අවතීර්ණ කිරීමටද බැංකුව කටයුතු කර තිබේ. මීට අමතරව, මෙරට සුළු හා මධ්‍යම පරිමාණ අංශයට වැඩිම ණය මුදලක් ලබාදුන් බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මෙරට බැංකුකරණ අංශයේ ඩිජිටල් නවෝත්පාදනයෙහි නායකයෙකු ලෙසද සැළකේ.    

කොමර්ෂල් බැංකුව විසින් පරිසරයට සිදුකරන දායකත්වය යටතේ කොග්ගල ප‍්‍රදේශයේ කඩොලාන වගාකිරීමේ ව්‍යාපෘතියක්, සාගරයේ ජෛව විවිධත්වය ආරක්ෂාකිරීම වෙනුවෙන් කැස්බෑවන් සංරක්ෂණය කිරීමේ වැඩසටහනක්, ශ‍්‍රී ලංකාව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වලින් ස්වයංපෝෂිත කිරීම වෙනුවෙන් සකස්කර තිබෙන ශ‍්‍රී ලංකා යුධ හමුදාවේ ‘තුරු මිතුරු’ වැඩසටහන සඳහා මූල්‍ය සහයෝගය ලබාදෙමින් එකතුවී තිබීම කැපී පෙනේ. 

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම 11 වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 931 ක් ක‍්‍රියාත්මක කරයි. බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

Visits: 39