First Capital Treasuries මූලික මහජන කොටස් නිකුතුව ගැන සාකච්ඡාවක් අද (30දා)

ජනශක්ති සමූහයට අයත් ෆර්ස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම යටතේ ක්‍රියාත්මක, First Capital Treasuries PLC සමාගම සිදු කරන මූලික මහජන කොටස් නිකුතුව (IPO) නිල වශයෙන් නිවේදනය කිරිම සහ ඒ සම්බන්ධයෙන් තවදුරටත් දැනුවත් කිරීමේ අන්තර්ජාල වැඩසටහනක් අද (30දා) පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව අද පස්වරු 3.00ට Zoom ඔස්සේ පැවැත්වෙන මෙම සාකච්ඡාමය හමුව සඳහා එම සමාගමේ විශේෂඥ කණ්ඩායමක් එක්වන බවත්, එහිදී මෙම මූලික මහජන කොටස් නිකුතුව පිළිබඳව තවදුරටත් තොරතුරු ලබා දෙන බවත් සමාගම පවසයි.

එසේම මෙම හමුවේදී පැවැත්වෙන ප්‍රශ්න විචාරාත්මක අවස්ථාවේදී අදාළ මූලික මහජන කොටස් නිකුතුව පිළිබඳ ගැටලුද ඉදිරිපත් කිරීමේ අවස්ථාව පවතින බව First Capital Treasuries PLC සඳහන් කරයි.

https://tiikm.zoom.us/…/WN_a8DRuQp-RUSdVmfQW4fuIA… යන වෙබ් ලිපිනය හරහා මෙම සාකච්ඡාව සඳහා ලියාපදිංචි වීමේ අවස්ථාව ලබා දී තිබේ.

First Capital Treasuries PLC සමාගමේ මෙම මූලික මහජන කොටස් නිකුතුව ලබන දෙසැම්බර් 06 විවෘත කරන බව නිවේදනය කර තිබේ.

සිය සාමාන්‍ය ඡන්ද හිමි කොටස් ප්‍රමාණයක් කොළඹ කොටස් හුවමාරුවෙහි දිරි සවි පුවරුවෙහි අලෙවි කිරීමේ අරමුණින් First Capital Treasuries PLC සමාගම මෙම මූලික කොටස් නිකුතුව සිදු කරන බව පවසයි.

සමාගම සඳහන් කරන ආකාරයට මෙහිදී සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 7,695,000ක ප්‍රමාණයක් නිකුත් කිරීම සිදු වෙයි. එක් කොටසක් රුපියල් 39ක් බැගින් මිල කෙරී ඇති අතර, සමස්ත නිකුතුවේ වටිනාකම රුපියල් මිලියන 300ක් (300,105,000) වෙයි.

ගනුදෙනු සඳහා මෙම කොටස් ඉදිරිපත් කිරීම First Capital Treasuries PLC සමාගමේ මව් සමාගම වන First Capital Limited මගින් සිදු කරන බවත්, මෙහිදී එම සමාගමට අයත් First Capital Treasuries PLC හි 5%ක කොටස් ප්‍රතිශතයක් මෙලෙස නිකුත් කෙරෙන බවත් සඳහන් වෙයි.

කෙසේ වෙතත් මෙම නිකුතුව හරහා First Capital Treasuries PLC වෙත කිසිදු ප්‍රාග්ධන රැස් කිරීමක් සිදු නොවන බව පෙන්වා දෙන සමාගම, සමාගමේ හිමිකාරීත්ව පදනම තවදුරටත් පුළුල් කිරීමේ ක්‍රමෝපායික සැලැස්ම මෙම මෙම මූලික කොටස් නිකුතුව හරහා සිදුවන බව පවසා සිටියි. එසේම සමාගම වෙත වඩා වැඩි ද්‍රවශීලත්වයක් ලබා ගනිමින් එහි සන්නාමය තවදුරටත් ශක්තිමත් කිරිමත් අරමුණ බව සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම මූලික මහජන කොටස් නිකුතුවේ කළමනාකරුවන් ලෙසද First Capital Limited සමාගම ක්‍රියා කරයි.

මේ අතර First Capital Treasuries PLC හි මූලික මහජන කොටස් නිකුතුවට අදාළ සංස්ථා ප්‍රකාශය පසුගිය නොවැම්බර් 26 වැනිදා එළිදැක්වුණි. https://firstcapital.lk/fct/ හරහා එය වෙත පිවිසිය හැකිය.

Visits: 110