අලුත්වැඩියා කෙරුණු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ Serendiva Lounge විවෘත කෙරේ

ශ්‍රී ලංකන් ගුවන් සමාගම Serendiva Lounge නමින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි පවත්වාගෙන යන සංචාරකයන් සඳහා වූ විවේකී පහසුකම් සහිත පරිශ්‍රය, නවතම පහසුකම්වලින් සමන්විත වන ලෙස අලුත්වැඩියා කිරීමෙන් අනතුරුව යළි විවෘත කිරීම පසුගියදා සිදු වී තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති, අශෝක් පතිරගේ මහතාගේ සහ ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා (පෞද්) සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම නවතම Serendiva Lounge විවෘත කෙරී තිබේ.

ගුවන් සමාගමේ සේවය ලබා ගන්නා වටිනා පාරිභෝගිකයන් වෙනුවෙන් සුඛෝපභෝගී සහ සුවපහසු විවේකී ස්ථානයක් ලෙස මෙම Serendiva Lounge පවත්වාගෙන යාම සිදු විය.

මෙහිදී මගීන් 50 දෙනෙකු වෙත එකවර පහසුකම් සැලසීමේ අවස්ථාවක් මෙම Serendiva Lounge සතුව පවතින අතර, පැය 24 පුරා ක්‍රියාත්මක බුෆේ සේවාවක් මෙන්ම ඉහළම මට්ටමේ පානවර්ග සපයන මත්පැන් හලක්ද එහි ක්‍රියාත්මක වන බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.

විශේෂයෙන්ම පවතින වසංගත තත්ත්වය මධ්‍යයේ ලබා දී ඇති සියුම සෞඛ්‍ය සහ ආරක්ෂිත උපදෙස් අනුව කටයුතු කරමින් මෙම සේවාවන් සියල්ලම සිය වටිනා ගනුදෙනුකරුවන් වෙත ලබා දීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය කටයුතු යොදන බවත් පවසා සිටියි.

Visits: 103