“තහනම් කළ රටවල් 06න් සංචාරකයන් පසුගිය දින 14 තුළ පැමිණ නෑ” – ඇමති ප්‍රසන්න

තහනම් කෙරුණු රටවල් 06න් සංචාරකයන් පසුගිය දින 14 ක කාලය තුල මෙරටට පැමිණ  නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. සංචාරක සංවර්ධන අධිකාරියේ සංඛ්‍යාලේඛණ මගින් එය තහවුරු වන්නේ යැයි ඇමතිවරයා සදහන් කරයි.

කොළඹ ඊයේ (27) රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කර තිබේ.

ඔමික්‍රෝන් නව කොරෝනා ප්‍ර භේදය වෛරස හේතුවෙන් දකුණු අප්‍රිකාව, නැමීබියාව, බොට්ස්වානා, සිම්බාබ්වේ, ලෙසටෝ සහ ස්වාසිලන්තයේ ගත වු දින 14 තුළ සංචාරය කළ මගීන්ට මෙරටට පැමිණීම අද (28) අලුයම සිට තහනම් කෙරිණි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය මත සිවිල් ගුවන් සේවා අධිකාරිය මේ බව අදාළ ගුවන් සමාගම වෙත දැනුම් දි තිබේ.

සංචාරකයන් හැර වෙනත් අය පසුගිය දින 14 තුළ මෙම රටවලින් මෙරටට පැමිණ ඇද්දැයි අදාළ අංශ සොයා බලන බවත් ඒ අනුව සෞඛ්‍ය අංශ ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇති බවත් ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කරයි.

අදාළ රටවල හැර සෙසු රටවලින් පැමිණෙන සංචාරකයන්ට මෙරටට පැමිණීමට බාධාවක් නැති බව අවධාරණය කළ ඇමති ප්‍රසන්න රණතුංග මහතා වීසා ලබාදීමේ දී ඔවුන් අදාළ රටවල සංචාරය කර ඇද්දැයි යන්න පරික්ෂා කෙරෙන බව ද පවසා තිබේ.

Visits: 68