LMD සඟරාව 2021 වසරේ මුල් පෙළේ ශ්‍රී ලාංකික ව්‍යාපාරික නායකයන් 50 දෙනා නම් කරයි

2021 වසර තුළදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වඩාත් හොඳින් පවත්වාගෙන යාම සඳහා දායකත්වය ලබා දුන් මෙරට මුල් පෙළේ ව්‍යාපාරික නායකයන් 50 දෙනා නම් කරමින් CAPTAINS OF BUSINESS IN 2021 හි A ලැයිස්තුව ඉදිරිපත් කරන්නට මෙරට මුල් පෙළේ ව්‍යාපාරික සඟරාවක් වන  LMD සඟරාව පසුගියදා කටයුතු යොදා තිබේ.

විශේෂයෙන්ම වසංගතය නිසා උද්ගතව වුණු අර්බුදකාරී තත්ත්වය මධ්‍යයේ වුවත් සිය සමාගම් තුළ ඉහළ කාර්ය සාධනයක් පවත්වා ගෙන යමින්, ජාතික ආර්ථිකය වෙත ඉහළ දායකත්වයක් ලබා දීම වෙනුවෙන් මෙම නම් කිරීම සිදු කර ඇතැයි LMD සඟරාව සඳහන් කරයි.

මෙහිදී 2021 වසරේ ලැයිස්තුව තුළ ප්‍රධානවම බැංකු අංශය මූලික කරගත් විවිධාංගීකරණය වූ සමාගම් රැසක් නියෝජනය කරමින් ව්‍යාපාරිකයන් ඇතුළත්ව තිබේ. එසේම ඇගලුම්, ඉදිකිරීම් සහ ඉංජිනේරු යනාදී ක්ෂේත්‍රවල ව්‍යපාරිකයන්ද ඊට අයත්ය. මීට අමතරව තේ, මූල්‍ය සේවා, තොරතුරු තාක්ෂණ, සෞඛ්‍ය සේවා, සිල්ලර සහ දුරකතන සන්නිවේන යන අංශ තුළ ව්‍යාපාරිකයන්ද මීට ඇතුළත්ව තිබේ.

මේ අතර මෙම ලැයිස්තුවට ඇතුළත්ව සිටින ව්‍යාපාරික ප්‍රජාව අතරින් බහුතරය සමාගම්හි සභාපතිවරුන්, කළමනාකාර අධ්‍යක්ෂවරුන් හෝ විධායක මට්ටමේ සාමාජිකයන් වෙයි.

මීට අමතරව මෙම ලැයිස්තුවට ඇතුළත් ව්‍යාපාරිකයන්ගෙන් වැඩිම පිරිස පෞද්ගලික අංශය නියෝජනය කරන අතර, දෙදෙනකු පමණක් රාජ්‍ය අංශය නියෝජනය කරයි.  

LMD සඟරාවේ මෙම CAPTAINS OF BUSINESS IN 2021 හි A ලැයිස්තුවට අනුව මෙම පිරිස පරම්පරා දෙකක් නියෝජනය කරන බවත්, එහි මීට පෙර 2008 වසරේදී LMD සඟාව මගින් පිරිනැමූ Sri Lankan Of the Year සම්මානය හිමි කරගත් ආසිආටා සමූහයේ ආචාර්ය හාන්ස් විජේසූරිය මහතාද ඒ අතර වන බව පවසයි. කෙසේ වෙතත් මෙවර ලැයිස්තුවේ කාන්තා නියෝජනය පස් දෙනෙකුට පමණක් සීමා ව තිබේ.

විශේෂයෙන්ම ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති දත්ත අනුවද 2021 වසරේ දෙවැනි කාර්තුවේදී මෙරට ආර්ථිකය 12.3%කින් වර්ධනය වී ඇති අතර, එය 2020 වසරේ එම කාලසීමාවේදී ආර්ථිකය හිමිකරගත් -16.4%ක වර්ධනයට සාපේක්ෂව සැලකිය යුතු අවස්ථාවක් බවත් LMD සඟරාව සඳහන් කරයි.

එහිදී මේ වසරේ මෙම ආර්ථිකවර්ධනය සඳහා සේවා අංශය 57.9%ක්ද, කාර්මික සහ කෘෂිකාර්මික අංශ පිළිවෙලින් 22.1%ක සහ 8.1% ක දායකත්වයක්ද ලබා දී තිබේ.  

Visits: 627