චීනයෙන් ගත් ණය නිසා උගන්ඩාවට හිමි එකම ගුවන් තොටුපොළත් අහිමි වන ලකුණු

උගන්ඩාව සතු එකම ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉදිරියේදී චීනය වෙත පැවරීමට සිදුවීමේ වැඩි ඉඩක් පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

එරට අගනුවර වන එන්ටෙබේහි පිහිටි එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ලෙස හැඳින්වෙන මෙම ගුවන් තොටුපොළ සංවර්ධනය සඳහා චීනයෙන් ලබා ගත් ණය ආපසු ගෙවිමට උගන්ඩාව අපොහොසත්විමත් සමගින්ම මෙම තත්ත්වය උද්ගතව තිබේ.

ඒ අනුව චීන ණය උගුලට හසු වී අර්බුදයට ලක් වූ අප්‍රිකානු රටවල් ලැයිස්තුවට අලුතින්ම එක්වන රට බවට උගන්ඩාව පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

2015 වසරේ නොවැම්බර් 17 වැනිදා උගන්ඩා රජය සහ චීනයේ එක්සිම් බැංකුව (EXIM BANK) අතර ඇති කරගත් එකඟතාවට අනුව මෙම එන්ටෙබේ ගුවන් තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන්  2%ක පොළී අනුපාතයක් යටතේ එක්සත් ජනපද ඩොලර් මිලියන 207ක ණය මුදලක් ලබා දීම සිදු විය.

එහිදී වසර 20ක කාලයකින් මෙම ණය මුදල ආපසු ගෙවීම සඳහා එකඟතාවකට පිවිසි අතර, එහිදී වසර හතක සහන කාලයක්ද ලබා දිම සිදු විය.

කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතියද ඇතුළුව අනෙකුත් ව්‍යාපෘති සඳහා චීනය වෙතින් ලබා ගත් මෙම ණය ආපසු ගෙවීමේ කටයුත්තේදී උගන්ඩා රජය මේ දක්වාම චීනය සමගින් අදාළ ණය එකඟතාවන් අලුත් කරගැනීම සඳහා ගත් උත්සාහයන් සියල්ලම අසාර්ථක වී ඇති බවත්, ඒ හේතුවෙන් මෙම ණය පිළීබඳ කාරණාව සමතයකට පත් කිරීමේදී එන්ටෙබේ ගුවන් තොටුපොළ ඇතුළුව මෙම එකඟතාව ට ඇතුළත් උගන්ඩාව සතු අනෙකුත් වත්කම්ද ඉදිරියේදී චීනය වෙත හිමිවීමේ අවස්ථාවක් පවතින බව සඳහන් වෙයි.

මේ අතර උගන්ඩා ජනාධිපති යොවෙරි මුසෙවෙනි පසුගියදා සිය නියෝජිතයන් පිරිසක් චීනය වෙත පිටත් කර හරිමින් මෙම ණය ආපසු එකඟතාවේ පවතින අයහපත් කාරණා ඉවත් කිරීම පිළිබඳව එකඟාවකට පත්වීමට උත්සාහ දරා ඇතැයි අප්‍රිකානු මාධ්‍ය පවසයි.

එහෙත් මෙම සාකච්ඡා කිසිදු ප්‍රතිඵලයකින් තොරව අවසන්ව ඇති අතර, චීන බලධාරීන් එම එකඟතාවේ මූලික කාරණා වෙනස් කිරිම සඳහා අනුමැතියක් ලබා දීම ප්‍රතික්ෂේප කර  ඇතැයිද වාර්තා පවසයි.

මේ අතර පසුගිය සතියේදී උගන්ඩා පාර්ලිමේන්තුව ඇමතූ එරට මුදල් අමාත්‍යවරයා, එන්ටෙබේ ගුවන් තොටුපොළ සංවර්ධනය සඳහා චීනයෙන් ලැබුණු මෙම ඩොලර් මිලියන 207ක ණය මුදල නිසි ආකාරයෙන් භාවිතා නොකිරීම සම්බන්ධයෙන් පාර්ලි‍මේන්තුව ඉදිරියේ සමාව ඉල්ලා තිබේ.

1972 වසරේදී ඉදි කෙරුණු මෙම ගුවන් තොටුපොළ සංවර්ධනය කිරීමේ කටයුතු මේ දක්වා 75.2ක සාර්ථකත්වයක් අත් කරගෙන ඇත. එහිදී ගුවන් පථ දෙකක් ඉදිකිරීම්ද 100%කින් වැඩ අවසන්ව ඇතැයි සඳහන් වෙයි.

Visits: 305